Home » ශ්‍රීලනිප සභාපතිකම ඉල්ලා විජයදාස දැමූ පෙත්සම නිෂ්ප්‍රභයි

ශ්‍රීලනිප සභාපතිකම ඉල්ලා විජයදාස දැමූ පෙත්සම නිෂ්ප්‍රභයි

by sachintha
May 8, 2024 2:34 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මඟින් නිකුත් කළ වාරණ නියෝගය… අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (07) තීරණය කළේය.

එම වාරණ නියෝගය විසිරුවා හරින ලෙස ඉල්ලා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් මේ බව ප්‍රකාශ කරන ලදි.

එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ මුල් අවස්ථා අධිකරණ බලය දිසා අධිකරණය සතුවන බවය. එබැවින් දිසා අධිකරණය මඟින් දෙන ලද තීන්දුවකට එරෙහිව එම අධිකරණය හමුවේම ඉල්ලීමක් කිරීමේ හැකියාව ඇති බව ද විනිසුරුවරයා සඳහන් කළේය. එබැවින් දිසා අධිකරණ නියෝගයකට එරෙහි ප්‍රතිශෝධන අධිකරණ බලය භාවිත කිරීමට අභියාචනාධිකරණයට අවශ්‍යතාවක් මතු නොවන බව විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව අදාළ පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට විනිසුරුවරයා නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඔවුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයෙහි කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය මඟින් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමක් සම්බන්ධ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. අනතුරුව රැස්වූ පක්ෂ විධායක සභාවේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාව මත අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති ධුරයට පත් කරන ලදි. ඊට එරෙහිව මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළහ.

ඔවුන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා අධිකරණය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කළේය. එම වාරණ නියෝගයට එරෙහිව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙම ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධ මූලික කරුණු සලකා බැලීම පසුගියදා සිදු කෙරිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම් මඟින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම පිළිබඳ නියෝගය කල් තැබීමට තීරණය කළේය. දිසා අධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කළ ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති. ජ්‍යෙෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන චන්දක ජයසුන්දර, අවින්ද රොද්‍රිගු, කුවේරාද සොයිසා යන මහත්වරු ප්‍රමුඛ නීතිඥ මඬුල්ලක් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT