Home » පාරේ දමා ගොස් තිබියදී ඇහිලූ පාස්පෝට්වලින් කොටසක් පොලිසියට භාර දෙයි

පාරේ දමා ගොස් තිබියදී ඇහිලූ පාස්පෝට්වලින් කොටසක් පොලිසියට භාර දෙයි

by sachintha
May 8, 2024 1:56 am 0 comment

හදිසියේ රට යන අය 32ක් පාස්පෝට් අරන් ගිහින් වංචාවේ මහ මොළකරුවන් සොයා පරීක්ෂණ

මහරගම විදේශ රැකියා ආයතනයකින් මහමග අතහැර දමා ගොස් තිබියදී හමු වූ විදේශ ගමන් බලපත්‍ර එකසිය අසූවක් ඇහිලූ බව පැවසෙන පුද්ගලයා පෙරෙදා (6) රාත්‍රියේ මත්තේගොඩ පොලිසියට පැමිණ එසේ ඇහිලූ විදේශ ගමන් බලපත්‍රවලින් එකසිය හතළිස් අටක් භාර දුන් බව මත්තේගොඩ පොලිසිය පැවසීය.

පිළියන්දල, මකුළුදූව ප්‍රදේශයේ පදිංචි සරත් මුණසිංහ නමැති විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු එම විදේශ ගමන් බලපත්‍ර තොගය අහුලා මෙසේ පොලිසියට ගෙනවිත් භාර දී තිබේ.

මෙම පුද්ගලයාගේ දියණිය සිංගප්පූරුවට යෑම සඳහා රුපියල් ලක්ෂ අටක් සමගින් විදේශ ගමන් බලපත්‍රය මහරගම වත්තේගෙදර හන්දියේ ආර්.වී මෑන්පවර් ආයතනයට භාර දී ඇති අතර, විදේශගත වීම ප්‍රමාද වීම නිසා ඒ පිළිබඳව පියා දැනුම්වත් කර තිබේ. පසුව මෙම පුද්ගලයා අදාළ ආයතනයට ගොස් සිය දියණියගේ විදෙස් ගමන ප්‍රමාද වීම පිළිබඳ විමසීමේදී එහි හිමිකරු බව පැවසෙන ප්‍රදීප් ජයතිලක නමැත්තකු පවසා ඇත්තේ දියණියගේ මුදල් ඉකුත් මාර්තු 25දා ලබා දෙන බවයි. එහෙත් එම මුදල් ලබා නොදීම නිසා යළි යළිත් මෙම පුද්ගලයා ප්‍රදීප් ජයතිලක නමැත්තාගෙන් විමසීමේදී ඔහු ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් සිදු කරන බවට ඇති වූ සැකය මත ඉන් අසාධාරණයට පත්වූ තවත් එකසිය පනස් දෙනකු පමණ පිරිසකගෙන් යුත් වට්ස්ඇප් සමූහයක් ආරම්භ කර තිබේ. එහිදී තොරතුරු සොයා බැලීමේදී අනුරාධපුර, රාජාංගණය, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, සූරියවැව, බදුල්ල, නුවර, පුත්තලම, යටියන්තොට, උඩුගම, පානදුර හා ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 25කට අධික මුදලක් මොවුන් වංචා කර ඇති බවත්, මෙම ගමන් බලපත්‍ර වසරකට ආසන්න කාලයක් ඒජන්සිය සතුව තිබී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන්ව තිබිණ.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ පැමිණිලි 30ක් පමණ සටහන් කොට ඇති බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිලි 250ක් පමණ සටහන් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ. මේ අතරතුර වට්ස්ඇප් සමූහයේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ”මව් රටට ඩොලර් රැගෙන ඒමට විදේශගත වීමට ගොස් අනාථ වූ අසරණයන්ගේ සංගමය” නමින් සංගමයක් පිහිටුවාගෙන අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් කිරීමට කටයුතු කර තිබූ බවත්, ඒ අනුව මෙම පුද්ගලයා ප්‍රදීප් ජයතිලක නමැත්තාගෙන් ඉල්ලා ඇත්තේ විදේශ රැකියා ආයතනය සතුව ඇති විදේශ ගමන් බලපත්‍ර තොගය තමාට භාර දෙන ලෙසත්ය.

ඒ අනුව සැකකරු පදිංචි මත්තේගොඩ කුඩමාදුව සෙත්සිරි පෙදෙස අංක 25 / සී නිවෙසට පැමිණෙන ලෙසට දන්වා ඇති අතර, ඒ අනුව පැමිණිලිකරු ඉකුත් 1දා රාත්‍රී තවත් කිහිප දෙනකු සමඟ එම ස්ථානයට ගියද අවස්ථා කිහිපයකදී තමාව රස්තියාදු කොට ඒජන්සි හිමිකරු පවසා ඇත්තේ සෙත්සිරි පෙදෙසේ සිය මවගේ නිවෙස ඉදිරිපිට විදුලි කණුවක් අසල මාර්ගයේ ගුවන් ගමන් බලපත්‍ර තොගය සහිත පාර්සලයක් ඇති බවත්, එම පාර්සලය ගන්නා ලෙසත්ය. ඒ අනුව කුඩමාදුව, සෙත්සිරි පෙදෙසේ ඒජන්සි හිමිකරුගේ මවගේ නිවෙස ඉදිරිපිට මාර්ගයේ විදුලි කණුවක් අසල බිම තිබී මෙම විදෙස් ගමන් බලපත් ලබාගෙන ඇති අතර, පසුව එම පාර්සලය රැගෙන නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ගුවන් ගමන් බලපත්‍ර 180ක් තිබූ බවත්, ප්‍රදීප් ජයතිලක නමැත්තාගේ ඉල්ලීම පරිදි බලපත්‍ර 32ක් හදිසියේ විදේශගත වීමට අවශ්‍ය වූ බව පැවසෙන පුද්ගලයන් කිහිපදෙනකුට භාර දුන් බවත්, ඉතිරි බලපත්‍ර 148 මෙසේ ගෙනැවිත් භාර දීමට පියවර ගත් බවත් පැවසේ.

මෙම ආයතනයෙන් සිදු වූ අසාධාරණයට සාධාරණයක් ඉටු ඉටු කර දෙන ලෙස ඉල්ලා ඉකුත් අප්‍රේල් 4 සහ 26 දෙදින උද්ඝෝෂණ දෙකක් ද සිදු කළ බවත්, ඉන් කිසිදු සාධාරණයක් සිදු නොවූ බවත් ඔවුහු කියා සිටියහ. මේ වන විට විදේශ ගමන් බලපත්‍ර පොලිසියට ගෙනැවිත් බාර දුන් පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගුවන් බලපත්‍ර තොගය අහුලා ගත් ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කොට සත්‍ය වශයෙන්ම මොහු එම ස්ථානයෙන් ගුවන් ගමන් බලපත්‍ර අහුලා ගත්තේ ද නැතහොත් වෙනත් මාර්ගයකින් බලපත්‍ර තොගය හමු වූයේද යන්න විමර්ශන කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මහරගම පොලිසිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්වත් කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ නියෝග යටතේ වැඩබලන සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංග මහතාගේ අධීක්ෂණය මත මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිල්වා ,පො.සැ ප්‍රසාද් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT