Home » සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්

සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්

by chanaka
May 9, 2024 4:05 pm 0 comment

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය (SCIAP- Smart Climate Irrigated Agriculture Project) මෙම වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් වීමට නියමිතව තිබුනි.

නමුත් මෙම ව්‍යාපෘතිය විසින් දුශ්කර දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වා‌ගෙන යාමට පියවර ගත යුතුයැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩොලර් මිලියන 25ක මුදලක් මෙම වර්ෂය සඳහා සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සඳහා ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා ඊයේ (08) පැවසීය.

සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ඉදිරි වර්ෂයේ වැඩ කටයුතු පිළිබඳ සමාලෝචන රැස්විමක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු ව්‍යාපෘති නිලධාරිහු රැසක් සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම වසර සඳහා වෙන් කළ ඩොලර් මිලියන 25ක මුදල ව්‍යාපෘති සඳහා වැය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නේය. විශේෂයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවල වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහාත් වැඩි අවධානය යොමු කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

දුශ්කර ප්‍රදේශවල ගොවි ජනතාවට වගාව සඳහා ජලය ලබා ගැනීමේ අපහසුතා තිබෙන නිසා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සහන මිලක් යටතේ ලබා දීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව ගොවීන්ට දරාගත හැකි මුදලක් සූර්ය බලයෙන් ක්‍රියා කරන ජල පොම්ප ලබා දීම සඳහා දැරීමට සිදුවන අතර අනෙක් මුදල් ප්‍රතිපාදන අය කර ගැනීමකින් තොරව රජයේ වියදමින් ගොවි ජනතාවට ලබා දීමට හැකි වන පරිදි වැඩ සටහන් ඇරඹීමට තීරණය කරනු ලැබිනි.

ඒ අනුව සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ දැනට ආවරණය වන දිස්ත්‍රික්කවල තවදුරටත් ඉදිරි වර්ෂය සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා- මින් වසර දෙකකට පෙර ඩොලර් මිලියන 20ක් ගෑස් නැවක් ගෙන්වා ගන්න නැතිව හිටපු රටක කෘෂි සංවර්ධනය සඳහා රජයේ මුදලින් ඩොලර් මිලියන 25ක් ලබා දීම සුලුපටු කාර්යයක් නොවෙයි. ඩොලර් මිලියන 55ක් දෙන්න නොහැකිකම නිසා අපේ රටට ආපු ඉන්ධන නැව් ආපහු හැරිලා ගියා. රටේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමේ ප්‍රතිපලයක් වශයෙන් මෙම මුල්‍ය ප්‍රතිපාදන රජය ලබා දී තිබෙනවා. ඒ නිසා මෙම මුදල් ප්‍රතිඵලදායී ලෙස යෙදවීමට පියවර ගැනීම නිලධාරින්ගේ වගකීමක් යැයි ද අමාත්‍යවරයා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT