Home » කුලී හේවායන් ලෙස යැවූ විශ්‍රාමික සෙබළුන් 200ක ජීවිත අනතුරේ
රුසියානු යුද්ධයට 

කුලී හේවායන් ලෙස යැවූ විශ්‍රාමික සෙබළුන් 200ක ජීවිත අනතුරේ

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කුලී හේවායන් ලෙස රුසියාවට ගොස් රුසියානු – යුක්රේන් යුද්ධයට සම්බන්ධ වී සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 200කට අධික පිරිසක් සම්බන්ධයෙන් සති දෙකක කාලයක් තිස්සේ තොරතුරු වාර්තා නොවන බැවින් ඔවුන්ගේ ජීවිතවලට මේ වන විට අනතුරක් සිදුව තිබේ දැයි කුලී හේවායන් ලෙස රුසියාවේ රැඳී සිටින මෙරට හමුදා සාමාජිකයන්ට මේ වන විට සැකයක් මතුවී තිබේ. කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලෙහි සේවයට යොදවා සිටි මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ද මේ වන විට තුවාල ලබා සිටින බව ද සඳහන්ය.

එසේ තුවාල ලබා රුසියානු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලින් පලාගොස් රුසියාවේ මෙරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් එහි උදවු උපකාර ඇතිව ඊයේ දිනයේදී මෙරටට විශ්‍රාමික හමුදා සාමාජිකයකු පැමිණ ඇත. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මේ වන විට යුද්ධය දරුණුවට පවතින බවත් විශාල පිරිසක් මියගොස් සිටින බවත්ය. තවද මියගොස් සිටින අය අතර ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු සිටීදැයි පැහැදිලිව පැවසිය නොහැකි බවත් ඔහු පවසා තිබේ. රෝහල්ගතව ශ්‍රී ලංකික හමුදා සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් සිටින බව ඔහු පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ කුලී හේවායන් ලෙස රුසියාවට ගොස් මියගොස් ඇතැයි පැහැදිලිවම නම් වශයෙන් අනාවරණය වී සිටින්නේ 06 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු පමණක් බවය. විශාල පිරිසක් මියගොස් සිටින බව කියැවුණත් නිශ්චිත ලෙස නම් ගම් නැතිව එය සනාථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බව උසස් නිලධාරියෙක් කීය.

කුලී හේවායන් ලෙස රුසියාවට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් පවත්වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරී ජනකාන්ත මහතා සඳහන් කරනු ලබන්නේ මේ සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු ද පෙරේදා (08) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බවය. එම මේජර් ජෙනරාල්වරයා ප්‍රසන්න රණවක ලෙස මුලින් කියැවුණත් සැබෑ ලෙසම ඔහු දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජ රණවක නමැති විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා බව සහකාර පොලිස් අධිකාරී ජනකාත්ත මහතා සඳහන් කළේය. මේජර් ජෙනරාල් ප්‍රසන්න රණවක මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔහු කීය.

කුරුණෑගල වැව රවුමේ පදිංචිකරුවකු වන රණරාජ රණවක නමැති මෙම සැකකාර මේජර් ජෙනරාල්වරයා විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවේ කුලී හේවායන් ලෙස යොමු කරන ජාවාරමේ ප්‍රධානියකු බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි ද සහකාර පොලිස් අධිකාරීවරයා පැවසීය.

මෙම සැකකරු හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇත්තේ 2019 වසරේදී බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කුලී හේවායන් ලෙස මෙරට හමුදා සාමාජිකයන් රුසියාවට යවන ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වෙන බවත් මෙහි මහ මොළකරු හඳුනාගෙන සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔහු මේ වන විට පෝලන්තයට පලාගොස් සිටින බවට තොරතුරු ද ලැබී ඇත. තරුණ නිළියන් ප්‍රවර්ධකයන් ලෙස යොදාගෙන මහනුවර විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් තිබුණේ මෙසේ රටින් පලාගොස් සිටින සැකකරුය. විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මෙසේ කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් භාරදෙනු ලබන්නේ එරට නීත්‍යනුකූල හමුදාවකට නොවන බවය. එය රුසියානු හිතවාදී කුලී හමුදාවක් බවත් එම හමුදාවේ රටවල් රැසක සාමාජිකයන් සේවයේ නිරතව සිටින බවටත් තොරතුරු මේ වන විට හෙළි වෙමින් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT