Home » සුව සේවයේ හද ගැස්ම කැපවීම-අභියෝග මැදින් ආ ගමනක්

සුව සේවයේ හද ගැස්ම කැපවීම-අභියෝග මැදින් ආ ගමනක්

by mahesh
May 10, 2024 1:02 am 0 comment

ජාත්‍යන්තර හෙද දිනය එළැඹෙන12දාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සෞඛ්‍ය සේවා පද්ධතියේ හදගැස්ම ලෙස සැලකෙන හෙද සේවය ශ්‍රී ලංකාව තුළ වෙනස් වන ජනතා අවශ්‍යතාවන්ට අනුව විශාල පරිණාමනයට ලක්ව ඇත. ආරම්භයේ සිට වර්තමාන සංකීර්ණ අවශ්‍යතාවන් දක්වා මෙම හෙද සේවාවේ ගමන් පථය කැපවීම, අභියෝග හා ප්‍රවණතාවන්ගේ එකතුවක් ලෙස දැක්විය හැකිය. ලාංකේය හෙද නිලධාරීන් සෞඛ්‍ය සේවා සැපයීමේදී මෙන්ම මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේදී ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලාංකේය හෙද ‍සේවාවේ ආරම්භය 19 වැනි සියවසේ ආරම්භයේ බ්‍රිතාන්‍ය යටත්විජිත බලපෑම විසින් ලංකාවට බටහිර වෛද්‍ය ක්‍රම හඳුන්වාදීම දක්වාම විහිද යයි. මුල් අවස්ථාවේදී හෙද සේවාව සිදු කරනු ලැබුවේ ආගමික ආභාසය හා ප්‍රාථමික පුහුණුව ලැබූ පිරිස් විසිනි. 20 වැනි සියවසේ මුල් භාගයේ විධිමත් හෙද අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමත් සමඟම හෙද සේවාව වෘත්තීයමය වශයෙන් හැඩගැසීමට ලක් වන්නට පටන් ගැනිණ. 1937 දී කොළඹ හෙද විදුහල ආරම්භ කළ හැව්ලොක් ආර්යාව වැනි අයගේ පුරෝගාමීත්වය ශ්‍රී ලාංකීය හෙද සේවාවේ වෘත්තීයමයකරණයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ගෞරවනීය වෘත්තිය

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ හෙද සේවය රැකියාවක සිට ගෞරවනීය වෘත්තියක් දක්වා පරිණාමය වූ අතර වෙනස් වන ජනතා අවශ්‍යතාවන්ට අනුව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා හෙද හෙදියන් අතින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු වෙමින් පවතී. අවිධිමත් සත්කාරක අවස්ථාවක සිට ව්‍යුහගත පුහුණු වැඩසටහන් දක්වා සංක්‍රමණය වීම හෙද සේවයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන සාධකයක් විය. හෙද විදුහල් පිහිටුවීම, විෂය මාලා සංවර්ධනය හා පුහුණුව ප්‍රමිතිගත කිරීමත් සමඟ රෝගීන්ට විද්‍යානුකූල හා දයානුකම්පිත සත්කාරයක් සැපයීමට හැකියාව ඇති දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස හෙද හෙදියන් පිළිගැනීමට ලක්විය. සෞඛ්‍ය සේවාවේ ගෝලීය ප්‍රගතියට සමානුපාතික ලෙස ලාංකේය හෙද අධ්‍යාපනය ද විකාශයට හා දියුණුවට පත් වෙමින් ව්‍යවච්ඡේදය භෞතවේදය (Anotomy and Physiology) ඖෂධවේදය (Pharmacology) ක්ෂුද්‍රජීවී විද්‍යාව(Microbiology) හෙද න්‍යායන් (Nursing theories) හා සායනික කුසලතා (Clinical Skills) ඇතුළු පුළුල් පරාසයක විෂයයන් ඇතුළත් වන පරිදි විෂය මාලා පුළුල් විය. එපමණක් නොව හෙද සාත්තුව ලබාදීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව හෙද අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත් වූ අතර සිසුන්ට සැබෑ ලෝකයේ රෝගී සත්කාර අවශ්‍යතා සඳහා හෙද න්‍යායාත්මක දැනුම යෙදවීමට ඉඩ සැලසෙන ලදි. මෙම ප්‍රායෝගික හෙද නිලධාරීන්ගේ සායනික ප්‍රවේශය, නිපුණතාව, විචාරාත්මක චින්තනය හා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කර නවීන සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඔවුන් සූදානම් කිරීමට ඉවහල් විය. අද වන විට ශ්‍රී ලාංකික හෙද නිලධාරීන් උසස් නිපුණතා හා දැනුමින් සන්නද්ධව සිටින අතර ප්‍රාථමික සත්කාර‍යේ සිට විශේෂ ප්‍රතිකාර දක්වා පුළුල් පරාසයක සේවාවන් සැපයීමට ඔවුන්ට හැකියාව පවතියි. එසේම ශ්‍රී ලාංකේය හෙද නිලධාරීන්ට ලොව පුරා ඉහළ පිළිගැනීමක් ද පවතී.

කළමනාකරණයේ වැදගත්කම

මෑතකාලීනව සෞඛ්‍ය සේවා සංවිධානවල හෙද නායකත්වයේ හා හෙද කළමනාකරණයේ වැදගත්කම පිළිබඳ පිළිගැනීම වර්ධනය වෙමින් පවතියි. සායනික භාවිතය, අධ්‍යාපනය, පර්යේෂණ හා පරිපාලනය තුළ හෙදියන් වැඩි වශයෙන් නායකත්ව භූමිකාවන් භාර ගනිමින් සෞඛ්‍ය සේවාව තුළ ධනාත්මක වෙනස්කම් හා නවෝත්පාදනයන් ඇති කරමින් පවතියි. එපමණක් නොව හෙද සේවයට තාක්ෂණය ඒකාබද්ධ කිරීම නිසා රෝගීන්ගේ රැකවරණය, ලේඛන ගතකරණය Documentation) සන්නිවේදනය හා තීරණ ගැනීම වැඩිදියුණු වීම තුළින් ගුණාත්මක රෝගී සත්කාරයක් ලබා දීමට හැකිව ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ හෙද සේවය අභියෝග රාශියකට මුහුණ දී සිටින අතර සුදුසුකම් ලත් හෙද කාර්යමණ්ඩලයේ හිඟය ප්‍රමුඛ ගැටලුවකි. ඒ සඳහා වැඩිවන හෙද අවශ්‍යතාවට අනුව වාර්ෂික පුහුණුව ලබා සේවයට එක්වන හෙද නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම මෙන්ම වර්තමානයේ විශාල වශයෙන් හෙද නිලධාරීන් විදේශගතවීම බලපා ඇත. එපමණක් නොව හෙද නිලධාරීන්ට ප්‍රමාණවත් වේතනයක් ලබා නොදීම හෙද සේවය තුළ දිගුකාලීනව පවතින ගැටලුවකි. හෙද සංගම්වල වාර්තා පෙන්වා දෙන්නේ ලබාදෙන වැටුප ඉහළ යන ජීවන වියදම සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. වෘත්තියට අවශ්‍ය ලෙස සේවයට කැපවීමට පුද්ගලයන් දිරිමත් කිරීම මෙ මඟින් දුර්වල කරවයි.

මීට අමතරව වෘත්තීය සංවර්ධනයට ඇති සීමිත අවස්ථා නිසා දක්ෂ පුද්ගලයින් වැඩිදුර අධ්‍යාපනය හා විශේෂීකරණ පාඨමාලාවන් හැදෑරීමෙන් අධෛර්යවත් කරයි. එය ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ප්‍රගතියට බාධාවක් වන අතර එකතැන පල්වීමට හා සේවා තෘප්තිය බිඳ වැටීමට හේතුවේ. තවද දිගු පැය ගණනක් සේවය කිරීමට සිදුවීම, ඉහළ රෝගීන් සංඛ්‍යාව, සම්පත් ප්‍රමාණවත් නොවීම, අතෘප්තිකර සේවා පරිසරය, හෙද කාර්ය මණ්ඩලයේ කායික හා මානසික විඩාවට පත්වීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි. සිදු කරන නූතන පර්යේෂණවලින් හෙළි වන්නේ හෙද නිලධාරීන් අතර විශාල වශයෙන් කායික හා මානසික විඩාවට පත්වීම පෙන්නුම් කරන බවයි. එය ඔවුන්ගේ යහපැවැත්මට හා රෝගී සත්කාරයේ ගුණාත්මකභාවයට අහිතකර ලෙස බලපායි.

එපමණක් නොව හෙද වෘත්තියේ පවතින දුෂ්කරතාව, රාත්‍රී සේවා මුර, සමාජ සංස්කෘතිය සාධක, අඩු වැටුප් හෙද සේවය සඳහා නවක හෙද නිලධාරීන් එක්වීම අඩුකිරීමට දැඩි බලපෑමක් ඇති කරයි. හෙද සේවය තුළ හෙද නිලධාරීන් සම්බන්ධ අභියෝගවලට අමතරව අඩු සෞඛ්‍ය යටිතල පහසුකම් හා උපකරණ, ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම වැනි පද්ධතිමය ගැටලු හෙද නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ හැකියාව සීමා කරයි. එය ඉදිරිපෙළ හෙද කාර්යමණ්ඩලයේ ආරක්ෂාව හා ඔවුන් මුහුණ දෙන අභියෝග තවත් උග්‍ර කරයි.

අභියෝගය

මීට අමතරව ශ්‍රී ලංකාවේ හෙද සේවයට පවතින විශාල අභියෝගයක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින වෛද්‍ය පරිපාලනය නිසා හෙද සේවාවට ඔවුන්ගේ අයිතීන්, අවස්ථා, වරප්‍රසාද අහිමිවීම හා වෙන්කර සැලකීමට ලක්කිරීමයි. එසේම විවිධ අවස්ථාවල උත්සාහ දරමින් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකරගෙන ගියත් තවමත් රජ‍යේ හෙද විදුහල් මඟින් ලබාදෙන හෙද ඩිප්ලෝමාව උපාධි මට්ටම දක්වා ඉහළ නැංවීමට නොහැකි වී ඇත. ඒ සඳහා අවශ්‍ය සාධක සියල්ලක්ම පාහේ සපුරා තිබුණ ද විවිධ බලපෑම් නිසා එය ප්‍රමාද වෙමින් පවතියි. එය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය හමුවේද ලාංකේය හෙද නිලධාරීන්ගේ වටිනාකම හා තත්ත්වය පහළ වැටීමට හේතුවක් වී ඇත.

මෙවන් අභියෝගවලට මුහුණ දීම සඳහා උපායමාර්ගිකව ශ්‍රම බලකාය සැලසුම් කිරීම හා හෙද සේවාවේ හිඟය පියවීම, හෙද අධ්‍යාපනය ඉහළ නැංවීම, තරගකාරී වැටුප් හා වෘත්තීය සංවර්ධන අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය, සෞඛ්‍යය, යටිතල පහසුකම් ඉහළ නැංවීම, හෙද සේවයේ වටිනාකම ප්‍රවර්ධනය ඇතුළු සාමුහික උත්සාහයන් ඇතුළත් පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වේ.

නව ප්‍රවණතාවන්

මෙවන් අභියෝග මධ්‍යයෙහි ශ්‍රී ලංකාවේ හෙද ක්ෂේත්‍රය ඉහළ නැංවීමට හේතුවන නව ප්‍රවණතාවන් හේතුවෙමින් පවතී. ප්‍රජා මූලික සත්කාර හා නිවාරණ සෞඛ්‍ය අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නව ජනතා අවශ්‍යතාවන්ට අනුව හෙද භූමිකාවන් පුළුල් කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය, රෝග වැළැක්වීම හා ජීවන රටාව වෙනස් කිරීම ප්‍රවර්ධනය කිරීම තුළින් සැඟව ඇති සෞඛ්‍ය ගැටලු ආමන්ත්‍රණය කිරීමෙන් සෞඛ්‍ය දර්ශක ඉහළ නැංවීම සඳහා හෙද නිලධාරීන්ට විශාල දායකත්වයක් ලබාදීමට හැකිවනු ඇත. වර්තමානය වන විට දැඩි අභියෝග මධ්‍යයේ ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරීන් මේ සඳහා විශාල දායකත්වයක් දෙමින් සිටියි.

එපමණක් නොව නව ප්‍රවණතා යටතේ තාක්ෂණයේ හා ටෙලි වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමඟ හෙද නිලධාරීන්ට දුරස්ථව සෞඛ්‍ය සේවාවන් සැපයීමට හැකිවන අතර ප්‍රවේශයේ හිඩැස් සමනය කරමින් කාර්යක්ෂමතාව වැඩි කළ හැකිවනු ඇත. එමගින් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල රෝගීන් වෙත ළඟාවෙමින් කාලීන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය හා කාලෝචිත මැදිහත්වීම් සපයමින් රෝගීන් සවිබලගැන්වීමට ද ඔවුන්ගේ ස්වයං කළමනාකරණයේ ප්‍රවර්ධනයට දායක වීමට ද හැකිවනු ඇත. එසේම අනිකුත් සෞඛ්‍ය කණ්ඩායම් සමඟ කටයුතු කිරීමෙන් හෙද නිලධාරීන්ට රෝගීන් කේන්ද්‍ර කරගත් සත්කාර සම්බන්ධීකරණය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය මඟින් වඩාත් පුළුල් හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීමට හැකිවනු ඇත.

වර්තමානයේ නව දැනුම උත්පාදනය කිරීම, සායනික ප්‍රතිඵල වැඩිදියුණු කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය, භාවිතයන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් පර්යේෂණ ක්‍රියාකාරකම්වල හෙදියෝ වැඩි වශයෙන් නියැළෙමින් සිටිති. එය සෞඛ්‍ය ගැටලු විසඳීමට හා වෘත්තීය තත්ත්වය වැඩිදියුණු කිරීමට උපයෝගි කරගත හැකිය.

මීට අමතරව හෙද අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් සඳහා ආයෝජනය උග්‍ර තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා සත්කාර (Criticalcare) වයෝවෘද්ධ හෙදකම (Gediatrie Nursing), මානසික සෞඛ්‍යය (Mental health) ප්‍රජා හෙද සේවය (Community nursing), සහන සත්කාර (Paliative care) වැනි විශේෂිත ක්ෂේත්‍රවල සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති දක්ෂ හෙද ශ්‍රම බළකායක් බිහිකිරීම ඉතා අවශ්‍ය වනු ඇත.

තවද හෙද සේවයේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම හා හෙද නිලධාරීන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම දක්ෂ හෙදියන් සේවයේ රඳවා තබා ගැනීමට හා රෝගී සත්කාරයේ ඉහළ ප්‍රමිතීන් පවත්වාගැනීමට අතිශයින්ම වැදගත්වේ. එසේම සෞඛ්‍ය ආයතන තුළ ගෞරවය, පිළිගැනීම හා වෘත්තීය සංවර්ධනය පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීම ද මෙයට ඇතුළත් වේ.

මීට අමතරව සම සහායක වැඩසටහන් (peer support programs) උපදේශන සේවා (counseling services) සහ ආතති කළමනාකරණ මුල පිරීම් (Stress management initiatives) හරහා හෙදියන්ගේ මානසික සෞඛ්‍යය හා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමෙන් රැකියා තෘප්තිය වැඩිදියුණු කළ හැකිය. එපමණක් නොව හෙද සේවයේ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ වගවීම් සහතික කිරීම සඳහා නියාමන යන්ත්‍රණය සහ වෘත්තීය පාලන ව්‍යුහය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙයට කාර්යසාධන ක්‍රමවේදයන් බලාත්මක කිරීම, අඛණ්ඩ අධ්‍යාපනය සහ නිපුණතා තක්සේරු කිරීම ප්‍රවර්ධන කිරීම මෙන්ම විෂමාචාර හෝ නොසැලකිලිමත්කම් පිළිබඳ ගැටලු වාර්තා කිරීම සහ විසඳීම සඳහා යන්ත්‍රණ ස්ථාපිත කිරීම ඇතුළත් වේ. විශිෂ්ටත්වය සහ වගවීමේ සංස්කෘතියක් පෝෂණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ හෙද වෘත්තිකයන් කෙරෙහි මහජන විශ්වාසය වැඩිදියුණු කළ හැකි අතර සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවිය හැකිය.

විනය සහ සහයෝගිත්වය

තවද සේවයේ විනය සහ සහයෝගිත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර දැනුම හුවමාරු කරගැනීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම මඟින් සහයෝගීතාවන් වැඩිදියුණු කිරීම සහ රෝගී සත්කාර නව්‍යකරණවලට මගපාදනු ඇත. හෙද සංගම්, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා සංවිධාන, රජයේ ආයතන අතර හවුල්කාරීත්වයන් වර්ධනය කිරීමෙන් සංකීර්ණ සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීමට සහ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධති වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවට විවිධ පාර්ශ්වකරුවන්ගේ සාමූහික විශේෂඥතාව සහ සම්පත් ප්‍රයෝජනයට ගතහැකි වනු ඇත.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි හෙදියන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය දිරිමත් කිරීම ඔවුන්ගේ විශේෂඥභාවය සහ බුද්ධිය උපයෝගි කරගැනීම සඳහා ඉතා වැදගත් වේ.

මීට අමතරව හෙද හෙදියන් සඳහා නායකත්ව සංවර්ධනය සහ උපදේශන වැඩසටහන් සඳහා ආයෝජනය තුළින් ධනාත්මක වෙනසක් සහ නවෝත්පාදනයන් ගෙන යා හැකි නව පරම්පරාවක් බිහි කිරීමට හැකි වනු ඇත. වෘත්තීය ප්‍රගතිය, වෘත්තීය සංවර්ධනය සහ නායකත්ව පුහුණුව සඳහා අවස්ථාව ලබාදීමෙන් ශ්‍රී ලංකාවට සායනික පුහුණුව, අධ්‍යාපනය, පෝෂණය, පරිපාලනය සහ ප්‍රතිපත්ති උපදේශනය යන ක්ෂේත්‍රවල නායකත්ව භූමිකාවන් භාර ගැනීමට හෙදියන් බලගැන්වීමට හැකිය.

ශ්‍රී ලංකාවේ හෙද සේවය කැපවීම, අභියෝග හා ප්‍රවණතාවන් අතරින් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව පරිණාමය වෙමින් පවතියි. වෙනස්වීම්වලට මුහුණ දෙමින් නායකත්වය ලබාදීමට හෙද නිලධාරීන් සවිබලගැන්වීම තුළින් ලාංකේය හෙද සේවාව අන්තර්ජාතික පිළිගැනීමට ලක්කිරීමට හා වඩාත් සෞඛ්‍යසම්පන්න හා සමෘද්ධිමත් සමාජයක් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත. එවන් ශ්‍රේෂ්ඨ සේවාවක් රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීම ලාංකේය පුරවැසියන් ලෙස ඔබේත් මගේත් වගකීම වේ.

ඩී.අයි.අයි. අමරසිංහ 
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) 
හෙද විදුහල, 
රත්නපුර.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT