ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත නොකිරීම, ඊට අනන්‍ය වැටුප් තලයක් නොදීම ඇතුළු කරුණුවලට විසඳුම් දීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි පළමු පියවර ලෙස පසුගිය 06 සහ 07 දෙදින සමස්ත ග්‍රාම නිලධාරීන් එක්ව ලෙඩ නිවාඩු දමමින් සිය විරෝධය පළ කළ බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා පැවැසීය.
ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසුවේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඊයේ (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා මෙලෙස ද කීවේය.
“සේවා ව්‍යවස්ථාව සහ වැටුප් තලය සකස් කිරීම සියයට අනූ නවයක් අවසන් බවට විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) ප්‍රකාශ කළා. රාජ්‍ය ඇමැති ධුරය භාර ගත් දින සිට සියයට අනූ නවයක් සකස් කර ඇති බව පවසනවා.
රාජ්‍ය ඇමැතිවරයා සිදු කරන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ සංගම්වල විරෝධය සහ කනගාටුව ප්‍රකාශ කරනවා. ආණ්ඩුවට දිය නොහැකි ඉල්ලීම් ග්‍රාම නිලධාරී සංගම් ඉල්ලා ඇති බවට රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කිසිදු ඉල්ලීමක් ග්‍රාම නිලධාරීන්ගේ සංගම් ඉල්ලා නෑ. එවැනි ඉල්ලීමක් කර ඇත්නම් පෙන්වන්නැයි අභියෝග කරනවා.
වසර හැටකට අධික දීර්ඝ කාලයක් පුරා දිගින් දිගටම ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා සාධනීය මැදිහත්වීමක් සිදු කර නෑ. අන් කවර සේවාවකටත් වඩා බරපතළ පසු බෑමකට ග්‍රාම නිලධාරී සේවය ලක් කර තිබෙනවා. වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී මහජන සේවාවක් පවත්වාගෙන යෑමට දිය යුතු ග්‍රාම නිලධාරි දීමනා නොදීම සහ ගන්නා සොච්චම් වැටුප රාජකාරී ඉටුකිරීමට යෙදවීමට සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දෙන විසඳුම් දෙස ග්‍රාම නිලධාරී සංගම් විමසිල්ලෙන් බලා සිටිනවා.”