Home » ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබිය හැකියි
එකඟත්වයකින් හා සම්මුතියකින් ඉදිරියට ගියොත්

ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබිය හැකියි

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති පවසයි

by mahesh
May 10, 2024 1:00 am 0 comment

– පුද්ගලික අභිලාෂ මත කටයුතු කළොත් එය විශාල විනාශයක ආරම්භයක්
– රටට ද්‍රෝහිකම් කළ අය ලෙස හංවඩු ගසා ගන්නවාද නැත්නම් රටට ආදරය කළ පිරිසක් ලෙස හඳුන්වා ගන්නවාද?
– මා භාර ගත්තේ ගිනි ගත්තු රටක්, අපායට වැටුණු රටක්, හැකිළුණු ආර්ථිකයක්
– එදා රටේ බහුතරයක් හිටියේ පාරේ, දවස් ගණන් පෝලිම්වල, සමහරු අරගලවල
– මට සැලැස්මක් තිබුණා, අත්දැකීම් තිබුණා, ජාත්‍යන්තර සබඳතාත් තිබුණා

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගිය හොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාව යළි අවධාරණය කළේය. රටේ මතු පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත කටයුතු කළ හොත් එය විශාල විනාශයක ආරම්භයක් වනු ඇති බවද පෙන්වා දුන්නේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (9) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය:

“රට යළි ගොඩනැංවීමේ මෙහෙවර මා භාර ගත් පසු ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු මා වරින් වර මේ සභාව හමුවේ ගෙන හැර දැක්වූවා. පසුගිය වසර දෙක තිස්සේ මා ආර්ථිකය සහ අනාගත ආර්ථික සැලසුම් ගැන කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කළා. මා භාර ගත්තේ ගිනි ගත් රටක්. අපායට වැටුණු රටක්. උද්ධමනය සියයට 70ක පැවතුණ හැකිළුණු ආර්ථිකයක්. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10-12 වඩා වැඩි අගයකට වැඩි වෙලා. පොලී අනුපාතය සියයට 30 දක්වා ඉහළ නැංවිලා. ඩොලරය රුපියල් 450ක පමණ මට්ටමට වැඩි වෙලා. විදේශ විනිමය සංචිත බින්දුවටම වැටිලා. සතියක් තරම් කාලයක් සඳහාවත් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි තිබුණේ නැහැ. රටේ බහුතරයක් හිටියේ පාරේ. සමහරු දවස් ගණන් පෝලිම්වල. තවත් සමහරු දවස් ගණන් අරගලවල. රටත්, ආර්ථිකයත් යළි ගොඩනැංවීමේ අභියෝගය මා භාර ගත්තේ එවැනි පසුබිමකයි.

“වෙනත් කිසි කෙනකු ඒ වේලාවේ රට බේරාගැනීමේ අභියෝගය භාර ගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. ඒත් මා කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා. මගේ පක්‍ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රී ධුරයයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මා මෙහෙවරට උර දුන්නේ. බයක් සැකක් නැතිව ඒ අභියෝගය මා භාර ගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා. අත්දැකීම් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා, අපායට වැටී තිබුණු මේ රට ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.

“එතැන් පටන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අප මුලපිරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2023 මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙනවා. මේ වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේයැයි අප අපේක්‍ෂා කරනවා. විවිධ දේශීය හා විදේශීය මූල්‍ය ආයතන විසින් ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත් කර තිබෙනවා. උද්ධමනය දැන් සියයට 1.5 තරම් පහළ වැටිලා. අවුරුදු ගණනාවක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා. දශක ගණනාවකට පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023දී ඇති වෙලා. පොලී අනුපාතය සියයට 10-13 තරම් පහළට වැටිලා. සංචාරක ව්‍යාපාරය පණ ගැන්විලා. විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය ඉහළ නැංවිලා. 2024 පළමු මාස තුන වන විට විනිමය අනුපාතය අමෙරිකානු ඩොලර් එකක් රු.300ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට අපට හැකිව තිබෙනවා. විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවිලා. මේ තත්ත්වය අපට උදා කරගන්න පුළුවන් වුණේ අභියෝගාත්මක, දුෂ්කර, එහෙත් නිවැරදි මඟක ගමන් කළ නිසයි.

“මේ රටේ සමහර කණ්ඩායම් අප ගන්නා හැම පියවරක්ම විවේචනය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමේ සිට රටේ ආර්ථික විනය සැකසීම සඳහා අනුගමනය කළ හැම පියවරක්ම විවේචනය කළා. එත් ඒ සියලු විවේචන, අපවාද, පාච්චල් මැද අප වැල්පාලම තරණය කරන්න පටන් ගත්තා. මේ මඟහැර වෙන මඟක් නැති බව අප අවබෝධ කරගෙන හිටියා.

“2023 සැප්තැම්බරයේ සිට පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. රාජ්‍ය වියදම් පාලනයට පියවර රැසක් ගත්තා. විවිධ භාණ්ඩ හා සේවාවල මිල ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළා. රාජ්‍ය ආදායම් පැවැතියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක තරම් පහළ මට්ටමකයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක් තරම් වන රාජ්‍ය වියදම කළමනාකරණය කරගැනීමට එම රාජ්‍ය ආදායම කිසි සේත් ප්‍රමාණවත් නැහැ. එනිසා රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

“මෙතුවක් කල් සිටි බොහෝ ආණ්ඩු රස්සා දුන්නේ, පඩි වැඩි කළේ, ඉන්ධන, විදුලිය හා ජලය ආදි සේවා අඩුවට දුන්නේ, අයවැය හිඟය පියවාගත්තේ පිටරටවලට ණය වෙලා. නැති නම් සල්ලි අච්චු ගහලා. අප ඒ තත්ත්වය වෙනස් කළා. මෙහෙම වෙනසක් එක පාරටම විඳදරාගන්න අමාරුයි. මොකද: අවුරුදු ගණනාවක්ම අප පුරුදු පුහුණු වෙලා හිටියේ ඒ වගේ ක්‍රමයකට නිසා. ඒත් රට යළිත් ගොඩනඟන්න නම් කවුරුන් හෝ මේ වෙනසට මුලපිරිය යුතු යි.

“ගරු කථානායකතුමනි, අප ප්‍රතිසංස්කරණ මාලාවකින් රටේ මූල්‍ය විනය තහවුරු කළා. ආර්ථික ස්ථායිකරණය කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය වූ අනෙක් ප්‍රතිසංස්කරණය වූයේ ණය ප්‍රතිව්‍යූහගතකරණයයි. 2022 සැප්තැම්බරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්වලට අත්සන් කිරීම සඳහාද මේ කාරණය වැදගත් වුණා. 2022 දෙසැම්බරයේදී පැවති සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 128ක්. මේ ණය ප්‍රමාණය කිසිම ආකාරයකින් යහපත් තත්ත්වයක් වූයේ නැහැ.

“එනිසා ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එය මූලික අංශ තුනක් හරහා සිදු කිරීමට සැලසුම් කළා. පළමු අංශය වුණේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය. ඒ කාර්යය 2023 වසරේදී අවසන් කළා. දෙවැනි අංශය වශයෙන් හඳුනාගත්තේ විදෙස් රටවල් සමඟ ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. ඒ රටවල් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කරගැනීමට 2023 නොවැම්බරය වන විට අපට හැකි වුණා. ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම පැරිස් සමාජයට අයිති නැති චීනය වැනි රටවල් සමඟද ප්‍රතිපත්තිමය එකඟතාවට පැමිණියා. මේ පිළිබඳ දැනට සිදු කළ යුතුව ඇත්තේ ණය හිමි රටවල් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඒ කාර්යය නිම කිරීමයි. ඒ සදහා වන කෙටුම්පත පිළිබඳව දැනට ශ්‍රී ලංකා රජය නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟත් මේ සාකච්ඡාව සිදු වනවා. වාණිජ ණය ප්‍රතිව්‍යූහගත කිරීම තෙවැනි අංශය වශයෙන් හඳුනාගත්තා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කටයුතු කරන ලසාඩ් සහ ක්ලිපර්ඩ් චාන්ස් උපදේශක සමාගම් එම ණය හිමියන්ගේ කමිටුව සමඟ සාකච්ඡා කරගෙන යනවා. දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ යෝජනා පදනම් කරගෙන සාකච්ඡා සාර්ථකව සිදු කරමින් සිටිනවා.

“අපේ අපේක්ෂාව මෙවසර මැද වන විට මේ සියලු සාකච්ඡා නිම කරගැනීමටයි. ණය ප්‍රතිව්‍යූහගතකරණයේ අවසන් අරමුණ අපගේ සමස්ත ණය ප්‍රමාණය 2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 95 දක්වා අඩු කරගැනීමත්, රජයේ දළ මූල්‍ය අවශ්‍යතාව වාර්ෂිකව සියයට 13ක මට්ටමකට ගෙන ඒමත්, විදේශ ණය සේවාකරණය වාර්ෂිකව සියයට 4.5 නොඉක්මවීමටත් කටයුතු කිරීමයි. මේ ඉලක්කවලට අප යා යුතුයි.

“මෙලෙස ණය තිරසරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යෑමට හැකියාවක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් සිදු කරන ලද රාජ්‍ය පාලන විමර්ශන වාර්තාව පාදක කරගෙන දූෂණ විරෝධි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට මුලපුරා තියෙනවා. දැනටමත් කැබිනට් මණ්ඩලයට ඒ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

“අප ක්‍රියාත්මක කළ ආර්ථිකය යළි පණ ගැන්වීමේ වැඩසටහන ඔස්සේ ලැබෙන ප්‍රතිඵල හරහා ජනතාවට සහන සැලසීමට අපගේ රජය පසුගිය අවුරුදු දෙක තිස්සේම කටයුතු කර තිබෙනවා. අස්වැසුම වැඩසටහන හා අනෙක් සහන වැඩසටහන් යටතේ රටේ දිළිඳු ජන කණ්ඩායම්වලට ඍජුව විශාල මුදල් ප්‍රමාණයක් දීමට කටයුතු කළා. වකුගඩු රෝගීන්, වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් වෙත පිරිනැමූ දීමනා 2024 අප්‍රේලයේ සිට සියයට 50කින් වැඩි කර තිබෙනවා. කලින් පැවති සමෘද්ධි සහනාධාරය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් මේ වැඩසටහන යටතේ දිළිඳු කොටස් වෙත පිරිනමනවා. මේ සහන වැඩසටහන් සඳහා 2024 වසර තුළදී රුපියල් බිලියන 205ක් වැය කෙරෙනවා. මුලින්ම ශ්‍රී ලංකාවේ සහන වැඩපිළිවෙළක් ආරම්භ කළේ දෙවැනි ලෝක යුද සමයේදියි. එතැන් පටන් මේසා විශාල මුදලක් දිළිඳු ජනතාවට කිසිදා දී නැහැ.

“2022 යල කන්නයේත්, 2022/23 මහ කන්නයේත් 2023 යල කන්නයේත්, 2023/24 මහ කන්නයේත් අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් මඟින් සාර්ථක වී අස්වැන්නක් අපට ලැබුණා. ඒ අස්වනුවලින් කොටසක් නොමිලයේ දිළිඳු ජනතාවට දීමට රජය කල්පනා කළා. ඒ අනුව, පසුගිය වසරේත් මේ වසරේත් අලුත් අවුරුදු කාලයේ දිළිඳු ජන කොටස්වලට නොමිලයේ සහල් දීමට කටයුතු කළා. මේ සඳහා 2024දී රු. බිලියන 12ක පමණ මුදලක් වැය වේයැයි අපේක්ෂා කරනවා. 2024 ජනවාරියේ සිට රජයේ සේවකයන්ට රු. 5000ක මාසික ජීවනාධාරයක් ගෙවුවා. එය අප්‍රේලයේ සිට රු.10,000ක් දක්වා වැඩි කළා. එමෙන්ම, අප්‍රේල් මාසයේ සිට විශ්‍රාමික රජයේ සේවකයන්ට රු. 2,500ක මාසික විශ්‍රාමික දීමනාවක්ද පිරිනැමුවා.

ජීවන වියදම පිළිබදව පුළුල්ව බලන විට මේ දීමනා ප්‍රමාණවත් වන්නේ නෑ. ඒත් රජයට දැරිය හැකි උපරිම මට්ටමක සහන සලසා තිබෙනවා.

“දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළින් පිට පැන්නොත් යළිත් අප වැටෙන්නේ මහා විනාශයකට. 2022 සැප්තැම්බරයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ අප ක්‍රියාත්මක කළ වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත් කරගෙන තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩපිළිවෙළින් ඔබ්බට ගොස් තිරසර මාවතකට අපගේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප අදිටන් කරගත යුතුයි.

“අප තවම විදේශ ණය ගෙවන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසානයේ අප ණය ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. එමෙන්ම විදේශ විනිමය සංචිත ගොඩනඟාගත යුතුයි. හැමදාම විදේශ ණය ගෙන රටේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතා නිර්මාණය කිරීමට තවදුරටත් ඉඩ තබන්න බෑ. එහෙම කළොත් සිදු වන්නේ රටේ ඉදිරි පරම්පරාව උගසට තැබීමක්.

“රටේ ඇති සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නාස්ති නොකර කාර්යක්ෂම කළමනාකරණයක් ඔස්සේ ආර්ථිකය සාධනීය පරිවර්තනයකට ලක් කළ යුතුයි. විදේශ ගනුදෙනු මත බහුලව ක්‍රියාත්මක වන කුඩා ආර්ථිකයක් බැවින් අප අපනයන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමෙන්ම, මෙහිදී පරිසරය ආරක්‍ෂා වන අයුරින් හරිත ආර්ථිකයක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. තොරතුරු තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික අංග ආර්ථික ක්‍රියාකාරකම්වලට බද්ධ කළ යුතුයි. එසේ නැතිව ආර්ථිකයක් දිගු කාලයක් පුරා තිරසරව පවත්වා ගෙන යා නොහැකියි.

“ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ සෑම කොටසකටම නිසි ලෙස බෙදී යෑම කේන්ද්‍ර කරගත් සමාජ-වෙළෙඳපොළ ආර්ථික පදනමක් අප සකසාගත යුතුයි. අපගේ ආර්ථික ශක්තිය වැඩි කරගැනීම සඳහා වේගවත් ආර්ථික වර්ධන මාවතකට අවතීරණ විය යුතු යි. ඉහළ ආර්ථික වර්ධනයක් සමග අපගේ ණය බර සැහැල්ලු වෙනවා. ඒ විතරක් නොවෙයි ජීවන වියදමත් අඩු වනවා.

“ජනතාවට දිගින් දිගටම බර පටවන පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර තවදුරටත් ගෙන යෑමට අපේ ආර්ථිකයට හැකියාවක් නැහැ. මේ සඳහා විකල්ප වැඩපිළිවෙලක් දැනට රජය යෝජනා කර තිබෙනවා. පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නම්, ජනතාවට බදු බර පටවා පාඩු ලබන ඒ රාජ්‍ය ව්‍යාපාර දිගින් දිගටම එලෙසම කරගෙන යා යුතු නැහැ.

“රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් නිසි ඵල ප්‍රයෝජනයට නොගෙන වල්වැදී ජනතාවට බරක් වෙමින් රජය යටතේ තිබෙනවා. අතීතයේ ඒ ඉඩම් පෞද්ගලික අංශය විසින් සාර්ථක කාෂිකාර්මික ව්‍යාපාර ලෙස පවත්වාගෙන ගියා. එවකට රජයට විශාල ලෙස ආදායම් ලැබුණේ ඒ ව්‍යාපාරවලින්. රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබුණේත් ඒ ව්‍යාපාරවලින්. එනිසා වාණිජ වශයෙන් ක්‍රියාත්මක අපනයන කෙරේ යොමු වුණු දේශීය පෞද්ගලික අංශය මැදිහත් කරගත් වාණිජ අපනයන කෘෂි ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට මූලික පියවරක් අප ගෙන තිබෙනවා. 1930 ගණන්වලින් පසු ගොවි පවුල් ලක්ෂ 20කට පමණ තම ඉඩම් අයිතිය දීමේ උරුමය වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මෙමඟින් ඉඩම්වල පූර්ණ සින්නක්කර අයිතිය ඔවුන්ට ලැබෙනවා. මේ වැඩසටහන පාදක කරගෙන ශ්‍රී ලංකාව පුරා දහස් ගණන් කෘෂි ව්‍යාපාරිකයන් ඉදිරියේදී බිහි වීම වළක්වන්න බැහැ. එමෙන්ම, පවත්නා කෘෂි ඉඩම්වලින් ඉහළ මට්ටමින් ප්‍රයෝජනයක් ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව, කෘෂිකාර්මික ඵලදායීතාවය වර්ධනය කිරීම පදනම් කරගෙන කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් දියත් කර තිබෙනවා. නවීන තාක්ෂණය පදනම් කරගෙන ගොවි ජනතාව ශක්තිමත් කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණක්. දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක මේ වැඩපිළිවෙළ දියත් කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 75ක් මේ වැඩපිළිවෙළට එකතු කරනවා.

“ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතා ශක්තිමත් අංශයක්ව තිබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් රැසක් ආර්ථික අර්බුදය මධ්‍යයේ අකර්මණ්‍ය වුණා. ඒ ව්‍යාපාර වසාදැමුවා. ඒවා යථා තත්ත්වයට පත් කිරීමට වැඩපිළිවෙළක් දැන් සකස් කොට තිබෙනවා. මේ සඳහා විශාල ආයෝජනයක් කිරීමට රජය දැනටමත් කටයුතු කර තිබෙනවා. ණය යෝජනා ක්‍රම රැසක් සංවිධානය කර තිබෙනවා. පරාටේ නීතිය සංශෝධනය කොට කෙටි කාලයක් තුළ මේ අංශයට තවත් සහනයක් දී තිබෙනවා. මහා භාණ්ඩාගාරය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් පිළිබඳ විශේෂ ඒකකයක්ද ස්ථාපනය කර ඒ කටයුතු සම්බන්ධීකරණය කරනවා.

“සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් ඉදිරියට යන ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. 2023 පළමු මාස 4 හා සසඳන විට 2024 පළමු මාස 4 තුළ සංචාරකයන්ගේ පැමිණීම සියයට 75ට වඩා වැඩි වර්ධනයක් තිබෙනවා. අද වන විට මේ වර්ෂය තුළ ලක්ෂ 8කට ආසන්න සංචාරකයන් සංඛ්‍යාවක් ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් නැංවීමට රජය, පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

“අප රට මුහුණ දී තිබෙන අර්බුදය විසඳීමටත්, යළිත් මෙවැනි ඛේදවාචකයකට රට පත් නොකිරීමටත්, පොදුවේ එකඟ වන දිගුකාලීනව හා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බව මා දිගින් දිගටම කියා තිබෙනවා. මේ දක්වා අප සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණවලට විපක්ෂය විවේචනාත්මක සහාය ලබා දී තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට එවැනි සහයක් ඉදිරියේදීත් අවශ්‍යයි. පසුගිය වසර දෙක තිස්සේ රජය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට විවිධ දුක්කම්කටුලු මැද ජනතාවත් සහාය දී තිබෙනවා.

“ගිනිවැදුණු ආර්ථිකයක සිට ස්ථාවර ආර්ථිකයක් කරා මේ යන ගමනේදී අත් කරගත් ප්‍රගතිය නිසා මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තැනට වඩා අද රට ඉහළට එසවී තියෙනවා. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියා පාච්චල් කරනවා. මම ඒ ගැන මෙහෙම කියන්නම්: ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුම් ඔස්සේ මේ අපායෙන් ගොඩ එමින් ඉන්නේ. හැබැයි දුර දැක්මක් නැතිව කෙටිකාලීන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආපහු අප වැටෙන්නේ අපායට. එහෙම වුණොත් දීර්ඝ කාලයක් පුරා දිවෙන අතිශය දුක්ඛිත කාලයකට මුහුණ දීමට අප සැමට සිදු වනවා.

“මේ රට වෙනුවෙන් අභියෝගාත්මක මෙහෙවර භාර ගත් අවස්ථාවේ මට ගමන් කරන්නට සිදු වී ඇත්තේ වැල් පාලමක බව මා සඳහන් කළා. ඒ අවස්ථාවේ එය ගණන් නොගත් අය පවා අද ඒ බව පිළිගන්නවා. ඒකෙන් පේන්නේ වැල් පාලම මඟ හැර අපට වෙන විකල්පයක් නැහැ. මේ මඟ හැර වෙන මඟක් නැති බව ඒ අයත් අද පවසනවා. අන්න ඒ නිසා තමයි, මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පොදු එකඟතාවක් අවශ්‍ය බව මා හැම විටම කියන්නේ. ඒ සම්මුතියට එළඹිය යුත්තේ මේ සභාවේ සිටින මහජන නියෝජිතයන් පමණක් නෙවෙයි. ආගමික නායකයන්, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ මතධාරි නායකයන්, සමාජ බලපෑම් කළ හැකි පුද්ගලයන් ආදි සියලු දෙනා මේ පොදු සම්මුතියට, මේ පොදු එකඟතාවට එකතු විය යුතුයි. එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියොත් අපට ලෝකය තුළ සංවර්ධිත රටක් ලෙස කඩිනමින්ම හිස ඔසවන්නට පුළුවන්. එහෙම නැතුව මේ අසීරු අවස්ථාවේ රට වෙනුවට තමන් ඉදිරියට දාගෙන කටයුතු කරන්න ගියොත් ඒ ගමන විශාල විනාශයක ආරම්භය වෙන්නත් පුළුවන්. ඒ අනතුරු හැඟවීම කරමින් රට වෙනුවෙන් පොදු එකඟතාවකට හා පොදු සම්මුතියකට එළඹෙන මෙන් ඔබ සැමගෙන් යළිත් ඉල්ලා සිටිනවා.

“රට ගොඩ ගන්න රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කරන්න අපට ලැබෙන මේ අවස්ථාව පැහැරහරින්න එපා. අප සියලු දෙනා එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු. අපි අද කටයුතු කරන ආකාරය ගැන අනාගතයේ දවසක අප විනිශ්චයට භාජනය වේවි. එදාට අප රටට ද්‍රෝහිකම් කළ අය ලෙස හංවඩු ගසා ගන්නවාද? නැති නම් රටට ආදරය කළ පිරිසක් ලෙස හඳුන්වාගන්නවාද? අද අප ගත යුතු තීරණය එයයි.”

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT