ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවන් 30,000කට තරුණ තරුණියන් විදෙස්ගත කිරීම මේ දිනයන්හි සිදු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ප්‍රිශාන්ති මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
කෘෂිකාර්මික හා ඉදි කිරීම් අංශයේ රැකියා අවස්ථාවන් සඳහා ඊශ්‍රායලයෙන් පුරප්පාඩු ලැබෙන ආකාරයට විදෙස්ගත කිරීම සිදු කරනවා. ඊශ්‍රායලයෙන් ඇණවුම් ලැබෙන ආකාරයට මේ යැවීම් සිදු කරන අතර, ඒ සඳහා ටික කාලයක් ගත වෙනවා.
ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව එහි ප්‍රොටෝකෝල් ‘ඒ’ ක්‍රියාත්මක වූ බවත් ඒ අනුව සාත්තු සේවිකාවන් යැවීමට තීරණය කළ අතර, 2022 මැයි මාසයෙන් පසුව 2000කට වැඩි සාත්තු සේවිකාවන් සංඛ්‍යාවක් යැවීමට හැකි වුණා.
එන්.වී.කිව්. සහතිකයක් ලැබූ අය හා දැනට රෝහල්වල සේවය කරන රෝහල් සහායිකාවන්ට ද එම රැකියා අවස්ථා විවෘතයි. රැකියා අවස්ථාවන් වෙබ් අඩවියේ පළ වූවාට පසුව ඊශ්‍රායලයේ තෝරා ගැනීම් අනුව මේ අයට රැකියා අවස්ථා හිමි වෙනවා.
කෘෂිකාර්මික රැකියා සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තොරතුරු ලබාගෙන ඊශ්‍රායලය වෙත යවා එරට ලොතරැයි ක්‍රමයක් හරහා තෝරා ගැනීම් සිදු කරනවා. පළමු කණ්ඩායම ලෙස 1200ක් ද, දෙවැනි කණ්ඩායම සඳහා 5000ක් ද, තෙවැනි කණ්ඩායම ලෙස 5000ක් ලෙස ලොතරැයි ක්‍රමයකට අනුව නම් 11,000ක් තෝරා එවා තිබෙනවා.
එහි පළමු කණ්ඩායම යවා අවසන්. දෙවැනි කණ්ඩායමේ 1000කට වැඩි පිරිසක් යවා අවසන් අතර, ඉතිරි කණ්ඩායමට පුහුණුවීම් කරගෙන යනවා.
තෙවැනි කණ්ඩායම තෝරාගත් බවට කෙටි පණිවුඩ මඟින් දැනුම් දීම සිදු කළත් වෛද්‍ය පරීක්ෂණ කරන ලෙස දැනුම් දී නැහැ.
අලුත් ඇණවුම් අනුව වේගයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන්ට ඊශ්‍රායලය වෙත යවමින් සිටින්නේ.