Home » සමස්ත ලංකා නව නිපැයුම් තරගයෙන් පළමු තැන කරුණාරත්න බෞද්ධ පාසලේ ලිතුලට

සමස්ත ලංකා නව නිපැයුම් තරගයෙන් පළමු තැන කරුණාරත්න බෞද්ධ පාසලේ ලිතුලට

by mahesh
May 10, 2024 12:59 am 0 comment

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංවිධානය විසින් කරන ලද යොවුන් නව නිපැයුම්කරුවන් තේරීමේ සමස්ත ලංකා තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රාගම, මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ ලිතුල තෙව්සර ද සිල්වා සමත් වී ඇත.

පහළාස් හැවිරිදි ලිතුල විසින් දුරස්ථ පාලකයක් මඟින් අහස්කූරු අහසට යැවීමේ උපකරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලැබී ඇත. අහස්කූරු අතේ තබාගෙන දැල්වීම අනතුරුදායක බව වටහා ගත් ලිතුල අහස්කූරු හතරක් එකවර ගුවනට යැවීමට හැකි දුරස්ථ පාලනයකින් ක්‍රියාත්මක කරන මෙම නව නිපැයුම නිර්මාණය කර වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

මෙවැනි නිර්මාණයක් නව නිපැයුම්කරුවකුගේ දෑතින් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව බැවින් එය ළාබාල වයසේ පසුවන ශිෂ්‍යයකු විසින් නිර්මාණය කිරීම ප්‍රශංසනීය කරුණක් යැයි නව නිපැයුම්කරුවන්ගේ සංගමය ලිතුලගේ නිර්මාණය අගය ක්‍රමින් පැවැසීය.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ශ්‍රද්ධා ටීවී නාළිකාව මගින් සංවිධානය කළ ‘Inventor Champs’ යොවුන් නව නිපැයුම්කරුවන් තේරීමේ සමස්ත ලංකා තරගාවලියේ පළමු වටයේ විනිශ්චයන් අතරින්, දෙවන වටය සඳහා ද ලිතුල තෙව්සර ද සිල්වා නිර්මාණය කළ ආරක්ෂිත ‘දුරස්ථ අහස්කූරු යවනය’ (Sky Stick Launcher) මේ වන විට තේරී පත් වී ඇත. මෙම නව නිර්මාණය සඳහා පේටන්ට් (Patent) බලපත්‍රය ලබා ගැනීම සඳහා ද මේ වන විට අයදුම් කර ඇතැයි ලිතුල පැවසීය.

රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දැඩි තර්ජනයක්ව පවතින සිවුපාවුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළැක්වීමට නවෝත්පාදනයක් කිරීම තමාගේ අරමුණ බව ලිතුල කියා සිටියේය.

මේ වන විට බප/කැල/ කරුණාරත්න බෞද්ධ ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ලිතුල ඉගෙනීමේ ක්‍රියාවලිය අතින්ද දස්කම් දක්වන ශිෂ්‍යයකු යැයි ඔහුගේ ආචාර්ය මණ්ඩලය පැවසීය.

කුඩා කල සිටම නව නිර්මාණ සිදුකිරීමට දරුවාගේ පවතින මෙම නිසග හැකියාව පළමු වරට සමාජයට විවෘත වන්නේ දරුවා ඉගෙනුම ලබන බල/ කැල/ කරුණාරත්න බෞද්ධ ජාතික පාසලේ ගරු ශාන්තජීව ස්වාමීන්වහන්සේගේ මැදිහත්වීමෙන් බවත් විදුහල්පතිවරිය වන නිජාමනී පාලිකා මහත්මිය, නව නිපැයුම් ඒකකය භාර ආචාර්ය ධනංජය වෛද්‍යසේකර, පාසලේ ඉංග්‍රීසි මාධ්‍ය අංශ භාර ෆෙලින් ගුරුතුමිය, ලිතුලගේ හැකියාවන් හඳුනා ගනිමින් ඔහුට ඉදිරියට ඒමට අත දුන් බවත් ලිතුල කෘතවේදීව සිහිපත් තළේය.

AISSA INNOVATION COMPETITION & EXHIBITION -2024 AISSA EXPO -2024 සමස්ත ලංකා පාසල් විද්‍යා සංගමය මඟින් සංවිධානය කරන ලද නව නිපැයුම් හා විද්‍යා ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වූ නව නිපැයුම් තරගය- කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී 2024-04-25, සහ 26 දිනයන්හි දී පවත්වනු ලැබීය.

සියලු තරගකරුවන් අතරින් විශිෂ්ටතම නිර්මාණ 5ක් පමණක් තෝරාගෙන ඇති අතර මෙරට ප්‍රමුඛපෙළේ පාසල් අබිබවා ඒ අතරට තේරීම විශේෂත්වයකි.

කැලණිය - කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT