Tuesday, May 14, 2024
Home » පිරමිඩ ජාවාරමක අධ්‍යක්ෂවරුන්ගේ ගිණුම්වල කෝටි 79ක්

පිරමිඩ ජාවාරමක අධ්‍යක්ෂවරුන්ගේ ගිණුම්වල කෝටි 79ක්

CIDය අධිකරණයට දන්වයි

by gayan
July 13, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී.ටී. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

මෙලෙස ඔන්මැක්ස් ඩී.ටී. පුද්ගලික සමාගම් ගිණුමේ තිබූ මුදල් 2023/3/21 වැනි දින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ගිණුම් වෙත මාරු කර ඇති බවට බැංකු විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වන බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන් යන අයගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක්, අතුල ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ කෝටි 2ක්, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක්, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක්, ගයාෂාන් යන අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇත.

මෙම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයේ උපරිම පැකේජය ආයෝජනය කළ අයකුට දිනකට යූ.එස්.ඩී.ටී 50කට වැඩි ප්‍රතිලාභ හෝ ලාභාංශ ලබාගත හැකි බව පවසන රහස් පොලිසිය මේ ආයතනය නමින් ඇති ගිණුම්වල සැලකිය යුතු ශේෂයක් නැති බව සඳහන් කළේය. තවද මහ බැංකු මූල්‍ය ඒකකය සමඟ එක්ව බ්ලොක් චේන් ඇනලයිසින් නමැති විමර්ශනය සිදු කළ බවත් එහිදී මෙම මුදල් ගලා යන අවසාන ගිණුම (වොලට්ටුව) ඔස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ ගිණුමට මෙම මුදල් බැර වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් කළේය. මෙම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයේ හිමිකරු සෑම් බස්නායක යන අය බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු හා ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ගත් බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේය.

මීට අමතරව ඔවුන් විසින් භාවිත කළ ජංගම දුරකතන හා සමාගමේ විද්‍යුත් තැපෑලවලට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත අධිකරණ නියෝග නිකුත් කළේය.

ලියාපදිංචි පුද්ගලික මෙම සමාගම අමෙරිකානු ඩොලර් කෝටි දහයක් නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනුවලින් උපයා ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හයදෙනකුගේ විදේශ ගමන් ද තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT