Monday, May 20, 2024
Home » මගේ මහත්තයා අයියාව හඳුනාගත්තේ කරාබුවෙන්

මගේ මහත්තයා අයියාව හඳුනාගත්තේ කරාබුවෙන්

-දේහය පිළිබඳ අවසන් කටයුතු පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු

by sachintha
May 9, 2024 1:54 am 0 comment

මේ අපරාධයට උපරිම දඬුවම් දී සාධාරණයක් කරන්න: මේ වගේ දේවල් මතුවට වෙන එක නවතින්න ඕනෑ සුසිත්ගේ සොයුරාගේ බිරිය ශානිකා හැඬූ කඳුළින් කියයි

අපි හිතුවෙම ගෑනු ළමයකුගෙ සිද්ධියක් නිසා ඒක විසඳගෙන කොයි මොහොතේ හරි අයියා ගෙනත් දාවි කියලා

ගෑනු ළමයෙක් එක්ක මොන විදිහේ සම්බන්ධයක් තිබුණත් මෙහෙම අවසානයක් අපි කවදාවත් අහලා නෑසුසිත්ගේ නැන්දණිය හැඬූ කඳුළින් කියයි

 

රටම කලඹමින් දින 15ක් පුවත් මැවූ කුලියාපිටිය, කබලෑව ප‍්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්, සුසිත් ජයවංශගේ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයෙන් සොයාගැනුණු පුවත සමඟින් තවදුරටත් බලාපොරොත්තු දල්වාගෙන සිටි සුසිත් ජයවංශගේ ඥාතීන්, සහෝදරයෝ ඇතුළු පිරිස බලාපොරොත්තු සුන්ව ඉදිරියේ ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ පවා සිතාගත නොහැකිව හැඬූ කඳුළින් සිටිති.

සිද්ධිය කන වැකුණු මොහොතේ සිට ඒ නිවසට ඥාතීන් මෙන්ම සුසිත්ගේ මිතුරන් ආදී බොහෝ පිරිසක් රැස්ව සිටියහ. ඒ අතර සිටි මියගිය සුසිත් ජයවංශගේ නැන්දණිය වූ රූපා දමයන්ති මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය.

Òපොඩිකාලෙ ඉඳලා මේ දරුවො දෙන්නා තනිවමයි හැදුණේ. අපි මොනතරම් කීවත් අපේ ගෙදරක එන්න කියලා දෙන්නාම ස්වෝත්සාහයෙන්ම හැදී වැඩුණා. අපි නිතර බැලුවා. ඒත් ගෙවල් කුලියට ගනිමින් අයියයි මල්ලියි දෙන්නා හරිම ආදරයෙන් හිටියේ. ඒ දෙන්නා වගේ එකමුතු දෙන්නෙක් මේ ගම්තුලානෙවත් නැතිව ඇති. අපේ සුසී, සජී වගේ නෙවෙයි. පොඩි කාලෙ ඉඳලා දඩබ්බරයි. මොන දේ කළත් මොනවාවත් ගණන් නොගෙන සින්දුවෙන් කල් ගෙවන්න එයා පුරුදු වෙලා හිටියා. අම්මා, තාත්තා නැතිව, හැදුණු දරුවො කොහොමත් දඩබ්බරයි. ඒත් මේ කතාව හිතාගන්නවත් බැහැ. ගෑනු ළමයෙක් එක්ක මොන විදිහේ සම්බන්ධතාවක් තිබුණත් මෙහෙම අවසානයක් අපි අහලා නැහැ. මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් ඕනෑ. මේවා කරපු අයට හොඳක් වෙන්නේ නැහැ.Ó

සුසිත්ගේ බාල සහෝදරයාගේ බිරිය වූ එස්. ශානිකා එරන්දි මහත්මිය පැවසුවේ මෙවැන්නකි.

“සුසිත් අයියා අතුරුදන් වූ මොහොතේ පටන් අපේ නිවසේ කිසිම දෙයක් කළේ නැහැ. හරිහැටි කෑමක්වත් අපට නැහැ. සුසිත් අයියාගෙ මල්ලි මගෙ මහත්තයා. සජිත් පොලිසියෙන් කියන වෙලාවල්වලට යන්න ඕනෑ නිසා රැකියාවට ගියේ නැහැ. අපි හිතුවෙම ගෑනු ළමයකුගෙ සිද්ධියක් නිසා ඒක විසඳගෙන කොයි මොහොතේ හරි අයියා ගෙනත් දාවි කියලා. ඒත් අපට උදේ ආව ආරංචිය සිහිනයක් වගේ. හලාවත පැත්තේ කැලේක තිබිලා අයියාගෙ මිනිය හම්බ වුණා කිව්වම හිතාගන්නත් බැරිවුණා. ඒක ඇහුණු ගමන් අපේ මහත්තයයි අක්කයි ඒ අයියාම ද කියලා අඳුනගන්න කැලේට ගියා පොලිසියත් එක්ක. පස්සෙ අපේ මහත්තයා අයියාගෙ කරාබුවෙන් අඳුනගෙන තිබුණා. අපට දකින්න ලැබුණා අපේ සුසිත් අයියා ගහක් මුල මරලා දාලා තිබුණු හැටි. දෙයියනේ අපටනම් ගෙදර මැරෙන සතෙකුටවත් එහෙම කරන්න බැහැ. අපි කියන්නේ අපට මේකට සාධාරණයක් ඕනෑ. උපරිම දඬුවම් කරන්න ඕනෑ. වෙන දේකට නෙවෙයි. අපට අපේ සුසී අයියා නැති වුණා. මින් ඉදිරියටවත් අපේ රටේ මේවාගේ දේවල් වෙන එක නවතින්න ඕනෑ.”

“ඇත්තටම ඒ කියන සහෝදරියට අපේ සුසී අයියාගෙන් අකටයුත්තක් වෙලා තිබුණානම් නීතියට බාරදෙන්න තිබුණා. එහෙම වුණානම් නීතිය ඉදිරියේ ඔප්පු වෙලා උසාවිය දඬුවමක් නියම කළානම් අපි කවදාවත් මෙහෙම මානසිකව වැටෙන්නේ නැහැ. මෙහෙම නීතිය අතට ගන්න කාටවත් බැහැ.ඒ නිසා ගොඩක් අයගෙ සැකයක් තිබෙන්නේ ඒ කියන සිද්ධියට එහා ගිය මොකක් හෝ වෙනයම් කටයුත්තක් මෙතැන ඇති කියලයි. ඇත්තටම ගොඩාක් දෙනෙකුට ඒ ගැන සැකයි. මේ සම්බන්ධව දේශපාලනඥයෙක් ගැනත් කියවෙනවා. ඇත්තටම අපටත් හිතෙනවා ඒ වගේ හයියක් නොවෙන්න මේ වගේ පුංචි රටක මෙච්චර හරියක් කරන්න සිඟිති වගෙ කෙනෙකුට බැහැ.

අපේ මහත්තයා, සුසී අයියා දෙන්නා හැම වෙලාවෙම හරිම ආදරෙන් සිටියේ. ඒ දෙන්නට දෙන්නා නැතුවම බැහැ. අපේ මහත්තයා මටත් නිතරම කියන්නේ සුසී අයියා කියන්නේ අයියා නොවෙයි තාත්තා කියලා. සුසී අයියාත් නිතරම සින්දු කියමින් හරිම ආදරෙන් සතුටින් ඉන්නේ. වැරදි තිබෙන්න ඇති. ඒත් ඒකට මෙහෙම කරන එක අනුමත කරන්න පුළුවන් කාටද?”

සුසීගේ මරණය ගැන නිවසේ රැස්ව සිටි පිරිස අතර ද ඇත්තේ විවිධ මතය. සුසිත්ගේ අතුරුදන්වීම හා බැඳුණු දේශපාලන හා බලධරයන්ගේ සබඳතා ගැන ඉතා අප‍්‍රසාදයෙන් තැන තැන කතා කරනු ඇසිණි.

සුසිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය හා ස්ථානය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු අධිකරණයේ උපදෙස් ලැබෙන තෙක් තීරණය කළ නොහැකි බව ද ඥාතීහු පැවසූහ.

මේ වනවිට සුසිත්ගේ මෘත ශරීරය හලාවත රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයට තැන්පත් කර ඇති බව කුලියාපිටිය අපරාධ කොට්ඨාසය පවසයි.මේ සිදුවීම් මාලාව පිළිබඳව ඔවුන් සිදුකරන පරීක්‍ෂණ යාවත්කාලීනව සිදු කරගෙන යන බව ඔවුහු පවසති.

මුල සිටම පොලිසිය නොමඟ හැරීමට සැලසුම්සහගතව සියලූ කටයුතු කර ඇති නිසා අදාළ පරීක්‍ෂණ කිරීමට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදු වන බව ද විමර්ශකයෝ වැඩිදුරටත් පැවසූහ.

කුලියාපිටිය – මෙවිරු ධනාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT