Home » තෝනිකල් උපන්දින සාදයකදී අඹු – සැමි යුවළක් ඝාතනය: සැකකරුවන් හය දෙනාගේ විදෙස් ගමන් අත්හිටුවීමට නියෝග

තෝනිකල් උපන්දින සාදයකදී අඹු – සැමි යුවළක් ඝාතනය: සැකකරුවන් හය දෙනාගේ විදෙස් ගමන් අත්හිටුවීමට නියෝග

by sachintha
August 28, 2023 1:11 am 0 comment

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයකට ප්‍රහාර එල්ල කොට අඹු සැමි යුවළක් ඝාතනය කළ සැකකරුවන් හය දෙනාගේම විදෙස් ගමන් නඩු කටයුතු අවසන් වනතුරු අත්හිටුවීමට වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ මේ සිද්ධියට සම්බන්ධ නඩු විභාගයෙන් පසුව සැකකරුවන් සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඊට අමතරව එම සැකකරුවන් හය දෙනාගේ සියලුම බැංකු හා මූල්‍ය ආයතනවල ඇති ගිණුම් පරීක්ෂා කිරීමට ද පොලිසියට අවසරයක් දුන් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 7 වැනි දිනට අධිකරණයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූවත් රුපියල් ලක්ෂ විසිපහෙන් කොටසක් කොන්ත්‍රාත් මුදල වශයෙන් ගත් තැනැත්තා සහ මේ ඝාතනවලට සම්බන්ධ බව කියන අනෙක් සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලිසියට මෙතෙක් නොහැකිවී තිබේ.

මේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් තුවාලකරුවන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා නික්ම ගොස් සිටි නිසා හඳුනාගැනීමේ පෙරෙට්ටුව පසුවට කල් තැබිණි.

මේ නඩු විභාගය සැප්තැම්බර් මස 7 වැනිදා යළි විභාග වීමට නියමිතය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT