Sunday, May 12, 2024
Home » මෙරට සරසවි අරඹන්න සිංහල-දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ආරාධනා
දේපළ විකුණා දරුවන් රට යවන යුගය අවසන්

මෙරට සරසවි අරඹන්න සිංහල-දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ආරාධනා

by mahesh
November 17, 2023 1:00 am 0 comment

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබා දිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරු උත්සවයට එක් වෙමිනි.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි. විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී. අලස් මහතාගේ ද දැක්ම වූ “සැමට අධ්‍යාපනය” ලබා දීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.

මුදල් නොමැතිකමින් කිසිදු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේපළ විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිටරට යවන යුගයද අවසන් විය යුතු බව පැවසීය.

මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට දායක වන පෞද්ගලික අංශයේ සියලුදෙනාට අවශ්‍ය සහය නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා-

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම මේ රටේ සියලු මවුපියන්ගේ බලාපොරොත්තුවයි. මෙම අධ්‍යාපනය සිංහල සහ දෙමළවලට පමණක් සීමා කළ නොහැකියි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂා දැනුමෙන් අපේ දරුවන් සන්නද්ධ කළ යුතුයි.

රටේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීම වෙනුවෙන් 2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට සැලසුම් කර තිබෙනවා. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රිසි දැනුම ලබා දීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ද අවශ්‍ය වැඩපිළිවෙළ අප සකසනවා.

මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අද මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පැවසුවත් උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් රට හැර යනවා. ලෝකයේ රටවල් රැසක අපේ දරුවන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටිනවා. එම රටවල ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමවේදය අපේ රටේද ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළ යුතුයි.

නිදහස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාලවලට ගෙවීමට මුදල් ලබා දීම කියා ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. නමුත් අනෙක් රටවල නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට නොවෙයි. අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිසුන්ට සහනදායී ණය මුදල් ලබා දෙනවා. එවිට සිසුවාට අයිතියක් තිබෙනවා තමන් කැමති විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට. අපේ රටේ එය තෝරා දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්. නමුත් අප කටයුතු කළ යුත්තේ ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමටයි. එසේම මුදල් නිසා රටේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමි විය යුතු නැහැ.

අප මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කළ යුතුයි. එසේම දැනට තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුයි. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබාදී වසර 05ක් තුළ එම ප්‍රගතිය ලබා ගැනීමේ ඉලක්කයක් අප ලබා දෙනවා. එවිට එහි අධ්‍යාපනය ලබන සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම ජෙනරාල් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට සමාන තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ සමඟ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අප අවස්ථාව ලබා දෙනවා. මේ පළපුරුද්ද සමඟ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස මම වෛද්‍ය හර්ෂ අලස් මහතාට යෝජනා කරනවා.

මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායි ණයක් ලබා දෙනවා. එවිට ඉඩම් විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවීමට අවශ්‍ය වන්නේ නැහැ. රටේ විශ්වවිද්‍යාල වැඩිවීමත් සමඟ විදෙස් රටවල සිසුන් ද මෙරටට පැමිණෙනවා.

එසේම ලංකාවෙන් පිටවූ දෙමළ ඩයස්පෝරාවට සහ සිංහල ඩයස්පෝරාවට මම කියනවා රට ගැන කැක්කුමක් තිබෙනවා නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස. අලස් මැතිතුමා ඒ සඳහා මාර්ගය පෙන්වා දී තිබෙනවා. රටේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. මීට දායකවන පෞද්ගලික අංශයේ සියලුදෙනාට සහාය ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් මම මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා –

මීට වසර 60කට පෙර රාජකීය විද්‍යාලයේ ආදර්ශමත් චරිතයක් අපට හමුවුණා. එතුමා අපට ගුරුවරයෙක්. ආර්.අයි.ටී. අලස් මැතිතුමාගේ ජීවන චරිතය අප සියලු දෙනාටම පූර්වාදර්ශයක් වෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ අධ්‍යාපනඥයකු ලෙස අලස් මැතිතුමාව හඳුන්වන්න පුළුවන්. එතුමාගේ තිබුණ මගපෙන්වීම මත මෙරට පාසල් ආදර්ශමත් පුරවැසියන් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථාන බවට පත්වුණා.

අධ්‍යාපන ක්ෂේත්‍රයට පුරෝගාමී නායකත්වයක් ලබා දීමට එතුමා කටයුතු කළා. රාජකීය විද්‍යාලයට වෙනසක් ඇති කළ අලස් මහතා ඩී. එස්. සේනානායක විද්‍යාලය බිහි කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නව මගකට යොමු කළා. අධ්‍යාපනයේ මෙන්ම පරිපාලනයේ හසළ දැනුමක් අලස් මහතාට තිබුණා. එතුමා සමඟ පන්ති කාමරයේ මෙන්ම පාසලේ බාහිර කටයුතුවලට ද අප සැම විටම එකතු වුණා.

එතුමා ශිෂ්‍ය භට කණ්ඩායම භාරව සිටින අවධියේ එතුමා සමඟ ළඟින්ම ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. එහිදී අපට ලැබුණු විනය සහ පුහුණුව ජීවිතයේ සවිමත් කර ගැනීමට ද මග පෙන්වනු ලැබුවා. ගුරු වෘත්තියට තිබෙන ගෞරවයට එතුමා නිසි වටිනාකමක් ලබා දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

අලස් මැතිතුමා කියන්නෙ අද්විතීය, අසමසම මහ දැවැන්ත චරිතයක්. ගාම්භීර යුග පුරුෂයෙක්. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය ක්‍රියාදාමයක් ඔහු ඇති කළා. එතුමා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුකළ සේවය වචනවලින් කියන්න බැහැ. අභියෝග අභිභවා කටයුතු කිරීමේ හැකියාවක් අලස් මැතිතුමාට තිබුණා. ඔහු යෝධ චරිතයක්. අලස් මැතිතුමාගෙන් අපට වැටි වැටී නැඟිටින ක්‍රමය ඉගෙන ගත හැකියි. එය අපේ රටටද ඉතා වැදගත්.

අපේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් සිදුවිය යුතුයි. ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොළේ ඉල්ලුම අනුව අපේ විෂයන් වෙනස් විය යුතුයි. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා දරන නිවැරැදි උත්සාහයන්ට අප කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන්න කැමැතියි. අලස් මැතිතුමා උත්සාහ කළේ, විශිෂ්ටයින් බිහි කරන්න. එතුමා පිළිබඳව දිගින් දිගටම හෙට හිරු උදාවන තෙක් කතා කරන්න පුළුවන්. එතුමා අපේ ජීවන ගමනට ද වැදගත්වූ චරිතයක්.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා-

අද වන විට ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දරුවන් 6,000ක් පමණ සිටිනවා. 1 සිට 13 දක්වා පන්ති කාමර 157ක් තිබෙනවා. එම සියලු පන්ති කාමර සුහුරු පන්ති කාමරයි. එම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කළේ රජයේ මුදල්වලින් නොවෙයි. මුළු පාසලම වයි ෆයි (WIFI) කර තිබෙනවා. මේ සියලු කටයුතු සිදු කළේ අලස් මහතාගේ දුර දක්නා නුවණ නිසයි.

අද මෙම ශාලාව තුළ නව විදුහල්පතිවරුන් නවසියයක් සිටිනවා. ඒ අයට අලස් මැතිතුමාගේ ජීවන අත්දැකීම තමන්ගේ රාජකාරී ජීවිතයට ඉතා වැදගත් වෙනවා. කොවිඩ් වසංගතය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිසා ප්‍රාථමික අධ්‍යාපනය අර්බුදයකට ලක් වී ඇති බව අධ්‍යාපන විශේෂඥයන් පවසනවා. ඒ පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා.

පාසල් අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යන විට අපේ දරුවන්ගේ අධ්‍යාපනය පමා කිරීම සිදු කරන්න බැහැ. ඒ අනුව අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප මේ වන විට සිදු කරමින් තිබෙනවා.

2024 පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් වී තිබෙනවා. නිල ඇඳුම් පළමු තොගය ලබන මස 31 වනදාට පෙර ලැබෙනවා. පාසල් යන සෑම දරුවකුටම දිවා ආහාරය ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. යුනෙස්කෝව සමඟ ඒකාබද්ධව දරුවන් ලක්ෂ අටකට පාසල් පාවහන් ලබාගැනීමට කූපන් පත් නිකුත් කිරීමට කටයුතු කරනවා. අප ‍ මේ සඳහා රජයේ මුදල් පමණක් බලාගෙන සිටියේ නැහැ. ප්‍රංශ රජයේ ආධාර ඇතිව මෙම පාසල් දරුවන්ට පාවහන් ලබාදීම සිදු කරනවා. කවුරු අධ්‍යාපන ඇමැති වුණත් ඉදිරි වසර 4 තුළදී එම ආධාරය මේ රටට ලැබෙනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා ඇතුළු පවුලේ ඥාතීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු, පාසල් සිසු දරුවන් සහ විශේෂ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

උපාලි කරුණාරත්න, ඡායාරූප- සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT