Home » එක්සත් රාජධානියට පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙක් කොටුවෙයි

එක්සත් රාජධානියට පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙක් කොටුවෙයි

by yasara
November 21, 2023 4:32 pm 0 comment

කූඨ ලෙස සකස් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කර තුර්කිය ඔස්සේ එක්සත් රාජධානිය වෙත පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙකු අද (21)  පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකි .

මොහු අද පස්වරු 05.00 ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සිය නිශ්කාශන කටයුතු සදහා ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දුන් ලියකියවිලි අතර තිබූ එක්සත් රාජධානිය විසින් නිකුත් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකය මත , මේ පිළිබඳව විමර්ශන කටයුතු සදහා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී සිදු කළ මූලික විමර්ශන වලදී මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී තිබේ .

මෙම පාකිස්තානු ජාතිකයා ඉකුත් 2020 වසර තෙක් එක්සත් රාජධානියේ වාසය කර ඇති අතර , ඉන්පසු ඔහු පකිස්තානයට පැමිණ තිබේ . එහිදී ඔහු සතු එක්සත් රාජධානිය මගින් නිකුත් කර තිබූ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය අස්ථාන ගත වී තිබේ .

ඉන්පසුව මොහු තම මිතුරෙකු මගින් මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කරවා ගෙන තිබේ .

මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය ද රැගෙන ඉකුත් අගෝස්තු මස 10 වන දින සංචාරක වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවට පැමිණි මෙම පකිස්තානු ජාතිකයා අද පස්වරුවේ කටුනායක සිට  මුලින්ම බහරේන් වෙත ගොස් එතැන් සිට යළිත් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් එතැනින් එක්සත් රාජධානිය වෙත පළා යාමට මොහු සැළසුම් කර තිබේ .

මෙම පකිස්තානු ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT