Sunday, May 19, 2024
Home » එන්නත් කුප්පි 56000ක් තිබියදී තවත් 22,500ක් ගෙන්වන්න ඉල්ලලා
ඉමියුනොග්ලොබියුලින් බාල එන්නත් සිද්ධිය

එන්නත් කුප්පි 56000ක් තිබියදී තවත් 22,500ක් ගෙන්වන්න ඉල්ලලා

කුප්පි 7500ක් ගෙන්වන්න ඉල්ලූ විට 22,500කටම අවසර දීලා

by gayan
December 28, 2023 1:02 am 0 comment
  • එහෙම වුණා නම් ගෙවන්න වන මුදල රුපියල් බිලියනයක්
  • නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දන්වයි
  • හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 5 දෙනා ජනවාරි 10 දක්වා යළි රිමාන්ඩ්
  • ක්ලාන්ත තත්ත්වයක් ගැන දැනුම් දුන් හිටපු සෞඛ්‍ය ලේකම්ට විත්ති කූඩුවේ පුටුවක්

හියුමන් ඉමියුනොග්ලොබින් කුප්පි පනස්හයදාහක් තිබියදීත් රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වැය කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සැකකරුවන් එන්නත් කුප්පි ගෙන්වමින් පොදු දේපොළ පනතේ වරදක් සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළාය.

බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එසේ සඳහන් කළාය.

මෙහි පළමු සැකකරු ටෙන්ඩර් පත්‍රිකාව අනුව එන්නත් කුප්පි හත්දහස් පන්සීයක් ගෙන්වීමට අවසර ඉල්ලා සිටිය ද ඔහුට එන්නත් කුප්පි 22,500ක් ගෙන්වීමට අවසරය ලැබී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. එන්නත් කුප්පි 22,500ක්ම ගෙන්වූයේ නම් ඔහුට රුපියල් බිලියනයක මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය අධිකරණයට දන්වා සිටියාය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ස්වේච්ඡාවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුගෙන් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවෙසට ගොස් ප්‍රකාශයක් ලබා ගත් බව සඳහන් කළාය. ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අදාළ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පැවසුවාය.

ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නැති බැවින් හා විමර්ශනය මූලික අවස්ථාවේ පවතින බැවින් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඇප දීමට සිය විරෝධය දක්වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව බාල ඖෂධ සිද්ධියේ සැපයුම්කරු සුදත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේව ශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අයවළුන් ලබන ජනවාරි මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ 27 නියෝග කළාය.

බන්ධනාගාරය විසින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක යන අය කොළඹ ජාතික රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බව දන්වා සිටියේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන බාල ඖෂධ සැපයුම්කරු වන සුදත් ජානක ප්‍රනාන්දු යන අයගේ ප්‍රකාශය පරිදි සටහන් කර නොගත් බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ දැනුම් දීමට අනුව අද (28) දිනයේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝග ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද ඉදිරිපත් වූ කරුණු අනුව ඇප නියෝගයක් ඉදිරි දිනට කල් තබන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, එදිනට වැඩිදුර වාර්තාවට සවන් දීමට පෙර ඇප නියෝගය ප්‍රකාශ කරන බව දන්වා සිටියාය.

සියලු සැකකරුවන් බන්ධනාගාරයේ වෙන වෙනම රඳවා තබන ලෙසත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නේ නම් ඔවුන් එහිදී එය තුළම රඳවා තැබීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර සිටියාය.

පැය පහකට අධික කාලයක් දේශනා සිදු කරනු ලැබූ අතර, එහි දී හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අය ක්ලාන්ත තත්ත්වයක් ඇති බවට කළ දැනුම් දීම අනුව විත්ති කූඩුවේ වෙනම ආසනයක රැඳවීමට මහේස්ත්‍රාවරිය බන්ධනාගාර නිලධාරින්ට උපදෙස් ලබා දුන්නාය.

එමෙන්ම හිටපු සෞඛ්‍ය ලේකම්වරයා කෙහෙළිය රඹුක්වැල්ල මහතා ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සියලු දෙනාම අධිකරණයට කරුණු දක්වමින් දැඩි විවේචනයට ලක් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය සියලුම සැකකරුවන් වෙනුවෙන් ප්‍රකාශ ලබා ගැනීමේ දී පොදු පිළිවෙතක් අනුගමනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නාය.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූයේ ජාලිය සමරසිංහ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිර්දෝෂී පුද්ගලයෙක් බවත් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ සහ වෛද්‍ය විජිත් ගුණසේකර යන අයගේ උපදෙස් පරිදි තම සේවාදායකයා කටයුතු කර ඇති බවත් අධිකරණයට දන්වා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තම සේවාදායකයා ප්‍රකාශ ලබාදීමේදී කෙහෙළිය අමාත්‍යවරයාගේ නම සටහන් කිරීමට විරෝධය පළ කර ඇති බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර, අධිකරණයට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම ප්‍රකාශය ලබාදීමට අවසර ලබාදෙමින් ඊට අදාළ කටයුතු සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාරයට නියෝග කළ අතර, අද (28) එම ප්‍රකාශ ලබාගන්නා ලෙසත් ඉන් මතුවන හරස් ප්‍රශ්නය සැකකරුගෙන් නැවත විමසා සටහන් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වමින් පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිද්ධියේ තම සේවාදායකයාට උපදෙස් ලබා දී ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා වෛද්‍ය විජිත් ගුණසේකර යන අයවළුන් වන බවය. ඔවුන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවත්, එහිදී සියලු කරුණු දන්වා සිටින බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ප්‍රගතිය අධිකරණය දැනුම් දෙමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය අධිකරණයට දන්වා සිටියේ හියුමන් ඉමියුනොග්ලොබින් කුප්පි පනස්හයදාහක් තිබිය දී මෙම එන්නත් ගෙන්වමින් රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වැය කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සැකකරුවන්ට පොදු දේපළ පනතේ වරදක් සිදු කර ඇති බවය. ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ නැති බවත්, විමර්ශනය මූලික අවස්ථාවේ පවතින බවත් කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමට විරුද්ධ බව අධිකරණයට දන්වා සිටියාය.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ස්වේච්ඡාවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුගෙන් ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගත් බවත්, ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට අදාළ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් අධිකරණයට දන්වා සිටියාය.

පළමු සැකකරු ටෙන්ඩර් පත්‍රිකාව අනුව එන්නත් කුප්පි හත්දහස් පන්සීයක් ගෙන්වීමට අවසර ඉල්ලා සිටිය ද ඔහුට කුප්පි 22,500ක් ගෙන්වීමට අවසර ලැබී ඇත. එලෙස එන්නත් කුප්පි 22,500ක් ගෙන්වූයේ නම් ඔහුට රුපියල් බිලියනයක මුදලක් ගෙවීමට සිදුවන බවත් ලක්මිණි ගිරිහාගම මෙණවිය අධිකරණයට දන්වා සිටියාය.

සැකකරුවන් කුමන්ත්‍රණ මනසකින් ක්‍රියා නොකළේ නම් මෙතරම් මුදලක් ගෙවීමේදී ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවත් සැකකරුට රුපියල් ලක්ෂ 1,444 ක මුදලිින් බැර වූ දිනම ඒ මුදල ඔහු ලබාගෙන ඇත්තේ කුමන මනසකින්ද යන්න සාධාරණ සැකයක් මතුවන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය කපිල වික්‍රමනායක යන අය නිරීක්ෂණය කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් පත් කළ මහේස්ත්‍රාත්වරිය ඔහු සම්බන්ධයෙන් ද ඇප නියෝගය ඉදිරි දිනට ප්‍රකාශ කරන බව දන්වා සිටියාය. දැනට ජාතික රෝහලේ 80 වාට්ටුවේ කශේරුකාවේ සහ වම් කකුලේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයගේ බිරිය සහ දරුවන් දෙදෙනා ආතති තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටිමින් ඔහුට එම කරුණ සුවිශේෂී කරුණක් සේ සලකා ඇප ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ සාමාන්‍ය ගොවියකු බන්ධනාගාරගත වුවත් ඔහුගේ පවුලේ අයටත් මෙම ආතති තත්ත්වය ඇති වන බවය. එලෙස සුවිශේෂී කරුණු බව පිළිගනිමින් ඇප ප්‍රදානය කළහොත් බන්ධනාගාරගතව සිටින සියලු දෙනාට ඇප ප්‍රදානය කළ යුතු බව ද ඇය දන්වා සිටියාය.

සැකකාර වෛද්‍ය කපිල වික්‍රමනායක යන අය රෝගී තත්ත්වයක් වැඩි වීමෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දන්වා තිබෙනවා. විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තා ඉදිරිපත් කරන බව නීතිඥ ප්‍රදීප් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේය. බන්ධනාගාරයේ නාන කාමරය තුළ වැටී ආබාධ තත්ත්වයක් ඇතිවී තිබෙනවා. වෛද්‍ය උදාර සිල්වා මහතාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනවා. ඔහුට මිනිත්තු 5කට වැඩි කාලයක් වාඩිවී සිටීමට බැහැ. රෝහලේ නිද්‍රාගත ස්වරූපයෙන් ඔහු ප්‍රතිකාර ලබනවා. විශේෂ වර්ගයේ කොලරයක් පැලඳ සිටින බවත්, ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි බවත් දන්වා සිටිනවා.

විමර්ශන ප්‍රගතිය දැනුම්දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණවිය මෙලෙස පැවැසීය.

දෙසැම්බර් 13 නියෝග ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට, ඖෂධ නියාමන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට, වෛද්‍ය සැපයීම් අංශයට, රේගුවට හා අධිකරණ නියෝග භාර දුන්නා. ප්‍රශ්නගත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව (2022.11.02) උපදෙස් මාලාව ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ලැබී තිබෙනවා. ඉදිරි දින එය ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්ථනය කර භාර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණවිය සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය. තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 3ක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දුන් ඒ මහත්මිය, 2022.02.11 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් 2022.04.25 නිකුත් කළ ණයවර ලිපි සම්බන්ධයෙන් ලේඛන ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. 2022.11.24 සිට 2022.12.31 දක්වා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 200ක් ලැබී තිබෙන අතර, තවදුරටත් මිලියන 35ක් වැඩි කර තිබෙනවා. එම පත්‍රිකාව සම්බන්ධයෙන් ද ඇමුණුම් අවශ්‍යයි. මේ විමර්ශනයට අදාළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ලබාදෙන ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එම ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරිය අනුමැතිය ලබාදුන්නාය.

පළමුවැනි සැකකරු පවත්වාගෙන ගිය රසායනාගාරය පරීක්ෂා කිරීමට අවසර ඉල්ලා සිටිය ද එම දිනවල පරීක්ෂා කිරීමට හැකිවූයේ නැහැ. එම ස්ථානීය පරීක්ෂාව සිදු කිරීමට අද සිට ලබන ජනවාරි 09 වනදා දක්වා අවසර ලබාදෙන ලෙස ලක්මිණී ගිරිහාගම මෙණවිය සිදු කළ ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නාය.

සීදූවේ පවතින සැකකරුගේ රසායනාගාරය අධිකරණ නියෝග පරිදි පටිගත කළ වීඩියෝව ප්‍රශ්නාවලියක් සමඟ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස ලක්මිණී ගිරිහාගම මෙණවිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නාය.

ලක්මිණී ගිරිහාගම මෙණවිය,

පළමු සැකකරුට එන්නත් නිෂ්පාදනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැහැ. 2020 මාර්තු මස සිට පූරෝගාමී රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර ලබා දී නැහැ. එවැනි පසුබිමක් තුළ ටෙන්ඩර් ප්‍රදානය කර බෙහෙත් කුප්පි, ජලය පිරිසිදු කාරක, රසායන ද්‍රව්‍ය, උපකරණ රේගුව හරහා ගෙන්වා තිබෙනවා. ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසර තිබිය යුතුයි. එම අවසරය නැතුව රේගුව මෙම නිෂ්කාශන කටයුතු සිදු කළේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. එලෙස කටයුතු කළේ කාගේ අවසර මතද යන්න පිළිබඳ පිළිතුරු ලබා දී නැහැ. ඊට අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්න. ඊටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නාය.

ලක්මිණී ගිරිහාගම මෙණවිය,

මහබඩවැලේ පිළිකා රෝගී තත්ත්වයන් සඳහා වන එන්නත් පියයුරු, ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකා, ආමාශ පිළිකා, එන්නත් සහ දෘෂ්ටි විතාන පැහැදි ව හඳුනා ගැනීමට අදාළ ඖෂධ, රුධිරය කැටිගැසීමේ රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ සඳහා අනුමැතිය ලබා දී ඇති බවට විමර්ශන අනාවරණය කළා. ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙම ඖෂධ ගෙන්වීමට සැකරුට අවසර ලබා දී තිබෙන්නේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නායක මහතාගෙන් ලබාගත් ලේඛන අනුව මහ බඩවැල පිළිකාවලට අදාළ එන්නත් මෙරටට ගෙන්වීමට 2022.12.13 වෛද්‍ය සැපයුම් ඒකකය මඟින් ගැනුම් ඇමුණුම් නිකුත් කර තිබෙනවා. ටෙන්ඩර් ප්‍රදානය අනුවයි ඒවා නිකුත් කරන්නේ. 2022 මාර්තු මස ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ 2006, 2007 වසරවල ප්‍රසම්පාදනය කර තෝරාගත් ඇණවුම්කරුවන් අදාළ අනු කමිටුවට යොමුකර තිබෙනවා. 2022.09.20 promise.lk සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පුද්ගලික ඇණවුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ටෙන්ඩර් ප්‍රදානයෙන් පසුව තමයි ඇනවුම් නිකුත් කුන්නේ. WOR සහතිකය නිකුත් කිරීමටත් විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි වෙනවා. ඒ අය ටෙන්ඩර් ප්‍රතික්ෂේප ද කර තිබෙනවා. මේ අයට ගැනුම් ඇණවුම නිකුත් කරන්නේ WOR සහතිකය නිකුත්කළ පසුවයි. ඒ කොන්දේසිය ලිහිල් වීම නිසා ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. සැකකරුට ටෙන්ඩරය ප්‍රදානය කළත් මුදල් ගෙවා තිබෙන්නේ ඔහුගේ පුද්ගලික සමාගමකට. 2022.12.13 පිළිකා ඖෂධ ටෙන්ඩරය නිකුත්වී තිබෙනවා. වැඩකරන දින 5ක් තුළ ඖෂධ ලබාදෙන ලෙස දැනුම් දී තිබුණ ද හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඔක්තෝබර් 26 තෙක් ඖෂධය මෙරටට ගෙන්වා නැහැ. හිඟ ඖෂධ 182න් හදිසි පිළිකා ඖෂධයක් වන ඉරියොනිටිකල් පිළිකා ඖෂධය විමර්ශන ආරම්භ වන තෙක්ම මෙරටට ගෙන්වා නැහැ.

මහේස්ත්‍රාත්වරිය,

තනි අයකුට මෙය කරන්න බැහැ. අනාවරණය වූ කරුණු මත සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න.

ලක්මිණී ගිරිහාගම මෙණවිය,

හදිසි ප්‍රසම්පාදන කමිටුව යටතේ ඇණවුම් කළ ඖෂධ මාස 10ක් යනතෙක් ලැබී නැහැ. හදිසි ප්‍රසම්පාදන ක්‍රියාත්මක කිරීමේ මුඛ්‍ය පරමාර්ථ ඉන් ගිලිහී ගොස් තිබෙනවා. සැකකරුට අවසර ලැබී තිබෙන්නේ විටා ලැක්ටන් නමැති ප්‍රතිජීවක ඖෂධ ගෙන්වීමට බව ද අනාවරණය වුණා. ඔහුට කිසි විටෙක ඉමියුනිලොබින් ප්‍රතිදේහ එන්නත් නිෂ්පාදනය කරන්න අවසර ලැබී නැහැ. ඉන්දීය ඖෂධ නියාමන අධිකාරියෙන් සිදුකළ විමසීමකට අනුව මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය මුද්‍රා තබා ලබාගත් ලේඛන භාරයට ගත්තා. විමර්ශන ප්‍රගතිය ඉදිරි දින 14 තුළ අධිකරණයට ඉදිරිපත් කරනවා. 2022.11.29 ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනු කමිටුවේ සමන් රත්නායක නිලධාරියා අනුමැතිය ඇතිව කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අයගේ ප්‍රකාශයක් පසුගිය ඔක්තෝබර් 18 වැනිදා ලබාගත්තා. වැඩිදුර ප්‍රකාශයක් ලේඛන පරිශීලනය කර දිය යුතු බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දැනුම් දී තිබෙනවා. 2024.02.09 දක්වා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය ඇතිව ඔහු පුද්ගලික නිවාඩු ලැබ විදේශ ගතවී තිබෙනවා. ඔහු පැමිණෙන තෙක් විමර්ශන අඩාල වෙලා. ඉදිරි දිනට පෙර ඔහු කැඳවා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන්න.

පළමු සැකකරු නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 1,444ක මුදල් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයෙන් විමර්ශනයක් සිදුකරනවා. ඊට අදාළ වාර්තාවක් ජනවාරි 09 හෝ ඊට ප්‍රථම එවන ලෙස ඔවුන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රශ්නගත ලියාපදිංචිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 23 වෙනිදා ඖෂධ නියාමන අධිකාරියේ 23 දෙනෙක් ස්ථාන මාරුකර තිබෙනවා. ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර යන අය ප්‍රශ්නගත ලේඛන පරීක්ෂා කිරීමේ දී නිශානි ලංකා යන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගත්තා. එම ලේඛන තිබෙන්නේ වෙනත් නිලධාරියෙක් භාරයේ බවට විජිත් ගුණසේකර යන අය දැනුම් දී තිබුණත්, එම ලේඛන ඇත්තේ වෙනත් අයකු භාරයේ බවට විමර්ශන අනාවරණය කළා. වැදගත් සාක්ෂිකරුවෙක් ලෙස ඒ.එම්.පී.කේ. ඇළවීර යන අය පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් හඳුනාගත් අතර, එම නිලධාරියාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා. පසුගිය 25 වැනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට නීතිඥයකු හරහා සිදුකළ ඉල්ලීමට අනුව ඔහුගේ ප්‍රකාශන සටහන් කළා. හරස් ප්‍රශ්න විමසීමේ දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඔහු සතුව නොමැති බැවින් වැඩිදුර ප්‍රකාශයක් ලබාදෙන බව දැනුම් දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල සම්බන්ධීකරණ කාර්යාලයේ පවතින මෙම සිද්ධියට අදාළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන්න. හිටපු සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් වූ ලේඛන සහ වාර්තාවලට අදාළ ඔහුගේ අත්සන් පරීක්ෂා කිරීමට රජයේ සැකකටයුතු ලේකම්වරයාට යොමුකර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය,

සැකකරු අත්අඩංගුවට ගත් පසුව ද ලේඛන තහවුරු වුණේ?

ලක්මිණි ගිරිහාගම මෙණවිය,

ප්‍රශ්න කළා. ඒ අනුව විමර්ශන සිදුකළා. 2023.10.11 පැමිණිල්ලක් සිදුකර තිබෙනවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙවීම් නොකරන ලෙස ලිපි 3ක් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා නිකුත් කර තිබෙනවා. එය දැනගෙන පළමු සැකකරු සෞඛ්‍ය ඇමැතිවරයාට තර්ජනය කර තිබෙනවා. මෙම ගෙවීම් නවත්වන්න අයිතියක් නැති බවත්, එය ඉල්ලා අස්කරගන්නා ලෙසත් පළමු සැකකරු දැනුම් දී තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය,

ඉන් පෙනීයන්නේ ස්වේච්ඡාවෙන් දැනුම්වත් භාවයක් තිබූ බව නොවේ ද?

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා,

ඔක්තෝබර් 25 හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව යොමුකරන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් අරමුදල් යටතේ ගෙවීම් කරන ලෙසයි. සේවරි ෆාමා ප්‍රයිවට් ලිමිටඩ් යන නමින් ඖෂධ ගෙන්වීමට අවසර ඉල්ලා තිබෙනවා. එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික නම්වලින් නොසලකා සුදුසුකම් සලකා බලා අනුමැතිය දෙන ලෙස දැනුම් දී තිබෙනවා. මින් ගම්‍ය වන්නේ කුමක් ද? නිකම්ම හිතලා කවුරු හෝ රැවැට්ටුවා ද? පැමිණිල්ල දාන්නේ ඔක්තෝබර් 02. ඇමැතිවරයා පැමිණිල්ල දාන්නේ ඔක්තෝබර් 13. කුමන්ත්‍රණය ආරම්භය කොහේද යන්න විමර්ශනය කළ යුතුයි. අගතියට පත් පාර්ශ්වය පැමිණිල්ල දැමූ පසු මේ පැමිණිල්ල යොමුකරන්නේ ඇයි.

ලක්මිණී ගිරිහාගම මෙණවිය,

රුපියල් බිලියනයක වටිනාකමකින් යුත් ටෙන්ඩර් පත්‍රිකාවක් ඔහුට ප්‍රදානය කර තිබෙනවා. එන්නත් කුප්පි 22,500ක් දින පහක් තුළ ලබාදෙන ලෙස පළමු සැකකරුට දැනුම් දී තිබුණ ද කුප්පි නොමැති කමින් ඔහු ලබා දී තිබෙන්නේ එන්නත් 3,500ක් පමණයි. ඔහු මේ විමර්ශනයට සහාය දෙන්න ඕන.

හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා,

හදිසි ප්‍රසම්පාදන කමිටුවක් පත්කළා. මාගේ සේවා දායකයා, භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු පිරිසක් එහි සිටියා. කැබිනට් මණ්ඩලයයි එය පත්කළේ. තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම මේ අවස්ථාවේ අවශ්‍ය ද? මාගේ සේවා දායකයා පරිපාලකයෙක්. ඔහු පාරිදෘෂ්‍යභාවයෙන් එය කළා. වෛද්‍යවරුන් යූ.එස්.කේ. ධනවත්ත, ඒ.පී. සුදර්ශන, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයනාත් බුද්පිටිය ඇතුළු පිරිසක් එහි සිටියා. කමිටුවෙන් තීරණය කරලා බලලා තමයි අඩුම ලංසුවට ටෙන්ඩරය දුන්නේ. ඇණවුම් ප්‍රමාද වීම වාර්තා වුණා. විශාල ක්‍රියාදාමයකට පසුවයි මුදල් ගෙවා තිබෙන්නේ. මුදල් ගෙවීමට මාගේ සම්බන්ධයක් නැහැ. මම කැබිනට් මණ්ඩලයේ ප්‍රසම්පාදන කමිටුවට වාඩිවුණා පමණයි. හිටපු සෞඛ්‍ය ඇමැති මුදල් ගෙවන්න එපා කියනවිටත් මුදල් ගෙවා අවසන්.

මහේස්ත්‍රාත්වරිය,

ඇමැතිවරයා මැදිහත් වුණේ කොයි කාලේ ද?

ජනාධිපති නීතිඥවරයා,

නඩුව පටන්ගත්තට පසුව. ඇමැතිතුමා ඒකෙන් බේරෙන්න කටයුතු කර තිබුණා. බේරෙන්න මේවා කියනවා ඇති. ඇමැතිවරයා වාසනාවන්ත පුද්ගලයෙක්. ගෙදර ගිහින් ප්‍රකාශ ගන්නවා. මාගේ සේවා දායකයා පාරේ ඉන්න විට පුද්ගලයෙක් ගහන්න ගියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් ප්‍රකාශ ලබාදෙන විට අත්අඩංගුවට ගන්නවා. හැම අයටම නීතිය සමාන විය යුතුයි. අපේ අයටත් ගෙවල්වලට ගිහින් ප්‍රකාශ ගන්න ඕන. මේවා කරලා සී.අයි.ඩිය සතුටක් ලබනවා නම් කමක් නැහැ. පහත් තැනින් ජලය ගලායන්නේ. කිසිම අවස්ථාවක වරදට සක්‍රියව දායක වෙලා නැහැ. ඔහු අමාරුවේ දාන්න සීඅයිඩිය කටයුතු කරනවා. රීට් ආඥාවක් නොගෙන ඔබතුමිය ඉදිරියට ආවේ සාධාරණය බලාපොරොත්තුවෙන්.

පළමු සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා,

ජාතික ඖෂධ නියාමන පනත අනුව අපට චෝදනා කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බැහැ. එම පනතට අනුව මාසයක් තුළ නඩු පවරන්න ඕන. ඒකත් කරලා නැහැ. කූට ලේඛන යටතේ අත්අඩංගුවට ගත්තට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, විජිත් ගුණසේකර උපදෙස් අනුව කටයුතු කළ බව සීඅයිඩීයට කිවුවට ඒවා සටහන්කරගෙන නැහැ.

මහේස්ත්‍රාත්වරිය,

අධිකරණය ඉදිරියේ අවශ්‍යනම් ප්‍රකාශයක් දිය හැකියි. ඊට ප්‍රතිපාදන තිබෙනවා. නැවත ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍යනම් ඉල්ලීමක් කරන්න.

නීතිඥ ජාලිය සමරසිංහ මහතා,

කූට ලේඛන කතාව සීඅයිඩීය අයින් කරනවා. කල් ඉකුත්වූ ලේඛනයක් බව කියනවා. විජිත් ගුණසේකර ලේඛන විනාශ කරනවා.

මහේස්ත්‍රාත්වරිය,

ඒවා ප්‍රශ්න කරන ලෙස සීඅයිඩීයට දැනුම් දෙයි.

නීතිඥවරයා,

කූට ලේඛන අයින් කළේ විජිත් ගුණසේකර බේරන්න. සාපරාධී විශ්වාසය කඩකළේ ආණ්ඩුව. මට විරුද්ධව බොරු චෝදනා ගෙන තිබෙන්නේ. ඇමැතිවරයකුට තර්ජනය කරන්න මට පුළුවන් ද? එහෙම කරලා පණ පිටින් ඉන්න පුළුවන්ද?

මහේස්ත්‍රාත්වරිය,

ඕන ඕන විදිහට විමර්ශන කරන්න එපා. සීඅයිඩීය නිසි විමර්ශනයක් කරයි කියලා මා විශ්වාස කරනවා.

නීතිඥවරයා,

ඔක්තෝබර් 27 විජිත් ගුණසේකර විදේශ ගමන් තහනම ඉල්ලන්න. මේ වෙනකන් අත්අඩංගුවට අරන් නැහැ. පනත යටතේ මෙම චෝදනාව පිළිගත්තොත් රුපියල් 100ක දඩයක් ලැබෙන්නේ. අනෙක් චෝදනාවටත් රුපියල් 100යි. සේරම රුපියල් 1000කින් ගෙවලා ඉවර කරන්න පුළුවන්.

ලක්මිණී ගිරිහාගම මෙණවිය,

එක සැකකරුවකුගේ ගිණුමට රුපියල් ලක්ෂ 1,444 රජයේ මුදල් බැරවුණා. ඒ නිසයි 1 සිට 6 දක්වා සැකකරුවන් ඉදිරිපත් කර තිබෙන්නේ. ගලායන දිය ඇල්ලකින් ජලය වෙනත් ස්ථානයකට ගලායාමක් සිදුකරමින් මුදල් වංචාකර තිබෙනවා. පළමු සැකකරු මුදල් බැරවූ දිනම මුදල් ඉවත්කරගත්තේ ඇයි. ඒ ගිණුමට බැරවුණේ පොදු දේපළ බව අනුමත වුණා ද? රුපියල් 1000ක් දඩය ගෙවන්නම් කියලා කියනවා. තුන්ගුණයක් අයකරගත යුතුයි. ඒ අනුව ලක්ෂ 4,332ක් ගෙවීමට සිදුවෙනවා. මනෝරාජික තත්ත්වයෙන් සිටිමින් කියන කරුණුවල සාක්ෂි තිබෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ටෙන්ඩරය ලබාගෙන තිබෙන්නේ.

නීතිඥ ජාලිය සමරසිංහ මහතා,

මාගේ සේවා දායකයාට දේපළ තියෙනවා. රුපියල් කෝටි සියයකට වඩා වටිනාකමින් යුත්. රුපියල් කෝටි 50ක නඩුවක් දමන්න එය ගෙවා දමන්නම්. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා නීතිඥවරුන් දෙකක් දෙපැත්තේ තියාගෙන ප්‍රකාශ ලබාදෙනවා. අපි කෝටි 50 ගෙවන්නම් නඩුදාන්න.

ලක්මිණී ගිරිහාගම මෙණවිය,

මුදල් ගෙවනවා වගේම එක් චෝදනාවකට වසර 20කට වැඩි කාලයක් බන්ධනාගාරගත වෙන්න. වසර 50ක් විතර ගෙවන්න වේවි. මේ කරුණු මගින් තවතවත් අපරාධමය කරුණු ඉස්මතු වෙනවා.

මහේස්ත්‍රාත්වරිය,

ඉදිරිපත් කළ ඇප අයැදීම විරෝධතා ඇතුළත් දේශන සලකා බැලුවත් නියෝගය සූදානම් කර තිබුණත් විමර්ශනයට අදාළව ඉදිරිපත්කළ වැඩිදුර වාර්තාවේ කරුණු අනුව නියෝගය ලබාදීම ඉදිරි දින දක්වා කල් තබනවා. පැමිණිල්ල දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් සැකකරුවන් හයදෙනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත්වී තිබෙන්නේ. වැය ශිර්ෂයෙන් ගෙවන ලද මුදල් වංචාවක් සිදුවී ඇති බවට වාර්තා වෙනවා. එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කර ඇති බවට සහ රුපියල් 25,000කට වැඩි පොදු දේපළ යටතේ කරුණු ඉදිරිපත්වී තිබෙනවා. ප්‍රශ්නගත එන්නත් කුප්පි රොහල්වලට බෙදා දී රෝගී මහජනතාව එන්නත් කර ඇති අවස්ථාවක තවදුරටත් විමර්ශන සිදුකිරීම වැදගත්. විමර්ශනය තාක්ෂණිකව සහ සූක්ෂමව සිදුකළ යුතුයි. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ නම ඇතුළත් කිරීමට යාමේ දී විමර්ශන නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීම් සිදුකරන්න. දෙවැනි සැකකාර කපිල වික්‍රමනායක යන අය සුරක්ෂිතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වුණා. ඔහුව නිරීක්ෂණය කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් පත් කරනවා. ප්‍රකාශ ලබාදීමට අවශ්‍ය බව දැන්වූ පළමු සැකරුගෙන් අද දිනත් තුන්වන සැකකරුගෙන් 10 වනදාට පෙරත් ප්‍රකාශ ලබාගන්න. විමර්ශන ප්‍රගතිය ඉදිරි දින ඉදිරිපත් කරන්න.

මේ අවස්ථාවේ සියලු සැකකරුවන් වෙනුවෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් සලකා බැලීම ඉදිරි දිනට කල් තැබිණි.

නඩුව ලබන 10 දින තෙක් කල් තැබේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT