Sunday, May 19, 2024
Home » සිම්බාබ්වේ පිලට එරෙහිව අකිල එක්දින සංචිතයට

සිම්බාබ්වේ පිලට එරෙහිව අකිල එක්දින සංචිතයට

ජනිත්-අවිශ්ක වැන්ඩර්සේටත් අවස්ථාව

by gayan
December 28, 2023 1:01 am 0 comment

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කර තිබේ.

උපුල් තරංගගේ සභාපතිත්යෙන් යුත් නව තේරීම් කමිටුව විසින් නම් කර ඇති පළමු සංචිතය වන මෙය ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති අතර, ඊට යොවුන් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටිති. ඊට කලකට පසු අකිල ධනංජය කැඳවා තිබීම කැපී පෙනෙන අතර, මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දස්කම් අතර සිටින ජනිත් ලියනගේ මෙන්ම ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේටද වසරකට පසුව අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයකි.

අවසන් වරට 2021 වසරේ මෙරටදී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගයකට ක්‍රීඩා කර ඇති අකිල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කරමින් මේ වන විට තරග 5කදී කඩුලු 12ක් බිඳ දමා තිබේ.

නිමාවූ අන්තර් සමාජ තුන්දින තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට ද පත්වූ අකිල ඉනිම 16කදී කඩුලු 72ක් බිඳ දමා තිබිණි.

ඊයේ සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවති තරගයේදිත් අර්ධ ශතකයක් රැස් කළ ජනිත් ලියනගේ මේ වන විට අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට ද පත්ව සිටී.

අවිශ්ක සහ වැන්ඩර්සේ අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ මේ වසරේ ජනවාරි මස ඉන්දියාවට එරෙහි තරගාවලියේදීය.

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමඟ එම තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ නායක දසුන් ශානක මේ සංචිතයට එක් කර ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ සහ චාමික ගුණසේකර ද මේ සඳහා එක් කර තිබේ.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංක සහ මහීෂ් තීක්ෂණ ද සංචිතයට එක් කර ඇත.

ඉන්දියාවේදී පැවති ලෝක කුසලාන තරගාවලියට එක් වූ කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ළහිරු කුමාර, මතීෂ පතිරණ සහ කසුන් රාජිත මේ මූලික සංචිතයට නම් කර නැත.

මේ තරගාවලියට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම ලබන 3 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. දෙපිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 6 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් ජනවාරි 8 සහ 11 දිනවල පැවැත්වෙන අතර, තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 14, 16 සහ 18 දිනවල පැවැත්වීමට නියමිතය. මේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නම් කර ඇති මූලික සංචිතය – කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, දසුන් ශානක, වනිඳු හසරංග, චරිත් අසලංක, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, ප්‍රමෝද් මදුෂාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංක, සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT