Sunday, May 12, 2024
Home » ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන ග්‍රාමීය රෝහල් වල අඩුපාඩු බලන්න සුව ඇමති යයි 

ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන ග්‍රාමීය රෝහල් වල අඩුපාඩු බලන්න සුව ඇමති යයි 

by yasara
February 29, 2024 4:00 pm 0 comment

මෙරට ග්‍රාමීය රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවට ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම  මුලික අරමුණ කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (29) ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූවඅහංගම සහ හබරාදූව යන ප්‍රාදේශිය රෝහල් වල විශේෂ නිරික්ෂණ චාරිකාවක  නිරත විය.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  සංකල්පයක් මත මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන අතර මෙහිදී රෝහල් වල පවතින  මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු හදුනාගනිමින් ඒවාට කෙටි කාලීන , මධ්‍ය කාලීන හා දිගු  කාලීන විසදුම් ලබා දීම ප්‍රධාන අරමුණ වේ .

මෙහිදී එම රෝහල්වල බාහිර රෝගී අංශය , වාට්ටු , සායන පවත්වන පරිශ්‍රය , රසායනාගාරය , හදිසි ප්‍රතිකාර ඒකකය, මුලුතැන්ගෙය ඇතුලු අනෙකුත් අංශ වල විශේෂ නිරීක්ෂණයක නිරත වුණු සෞඛ්‍ය අමාත්‍යවරයා, රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදයත්,  ඖෂධ වල හිඟතාවයක් පවතින්නේ ද යන්න පිලිබදවත්,  රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරයත් , රෝහල තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබදවත්, රෝහල්වලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත් වල අවශ්‍යතාවයන් පිලිබදව විශේෂ අවධානයක් යොමු කලේය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් ගැටලු පිළිබදව විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමටද අමාත්‍යවරයා මෙහිදී  කටයුතු කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ………

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සමඟම ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කර අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ලබාදීම තුලින් ප්‍රධාන රෝහල් වලට තිබෙන රෝගීන්ගේ තදබදය අඩුකර ගත හැකි බවය.

ගාල්ල දිස්ත්‍රික්කය තුල දිසා රෝහල් 20 ක ප්‍රමාණයක් තිබෙන බවත් එම රෝහල් සංවර්ධනය කිරීම සදහා එක් රෝහලකට ආරම්භක ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 20 ක ප්‍රතිපාදන මේ වන විට ලබා දීමට කටයුතු කර තිබෙන බවත්, අනෙකුත් සිදු කල යුතු සංවර්ධන  කටයුතු සදහා අවශ්‍ය ඇස්තමේන්තු සකස් කර ලබා දෙන ලෙසත් ඒ අනුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

පසුගිය කාලය තුල ඇති වුනු ආර්ථික අර්බුදය හේතුවෙන් කිසිදු ක්ෂේත්‍රයක සංවර්ධනය සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ පසුගාමීත්වයක් තිබුණ බවද, මේ වන විට එම තත්වයේ යම්තාක් දුරට සමනය වී ඇති හෙයින් සියලු ක්ෂේත්‍ර සදහා යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා සේම සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහාද ප්‍රමඛත්වය ලබා දී මුදල් වෙන්කිරීමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සදහා යොදවන මුදල් අර්ථාන්විතව යෙදවිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ  අවස්ථාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෝමරත්න කෝණාර යන  මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ඉමදූව, අහංගම සහ හබරාදූව යන ප්‍රාදේශිය රෝහල් වල  ප්‍රධාන වෛද්‍ය නිලධාරින් සහ ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT