Home » මත් ජාවාරමාගෙන් අල්ලස් ඉල්ලුවැයි දොරටියාව පොලිසියේ SIගේ වැඩ තහනම්

මත් ජාවාරමාගෙන් අල්ලස් ඉල්ලුවැයි දොරටියාව පොලිසියේ SIගේ වැඩ තහනම්

by sachintha
March 6, 2024 12:00 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුට තර්ජනය කර මුදල් අල්ලසක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන කුරුණෑගල දොරටියාව පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු වැඩ තහනමට ලක් කළ බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා හෙට්ටිපොළ පොලිසියේ සේවය කරමින් සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා මෙම විෂමාචාර ක්‍රියාව සිදු කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

හෙට්ටිපොළ පොලිසියට ලද තොරතුරකට අනුව යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. වැඩ තහනමට ලක්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව දුරකථනයෙන් සැකකරුගේ බිරිය අමතා ඇති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කර සැමියාට සහනදායි දඬුවමක් ලබා දිය හැකි බවත් එසේ කිරීමට නම් රුපියල් පනස්දහසක මුදලක් අවශ්‍ය බවත් පවසා ඇත.

ඒ අනුව සැකකරුගේ බිරිය එම මුදල ලබා දීමට එකඟ වී සිය සැමියාව පොලිස් ග්‍රහණයෙන් මුදාගෙන ඇත. උප පොලිස් පරීක්ෂකවරයාට රුපියල් හතළිස්දහසක මුදලක් අනතුරුව ඇය විසින් ලබා දී ඇත්තේ පසුගිය ජනවාරි 11 වැනිදාය. එම මුදල ප්‍රමාණවත් නොවන බව පවසා ඉතිරි දසදහසක මුදල ලබා දෙන ලෙසට දුරකතනය මඟින් උප පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවට කීප වරක්ම තර්ජනය කර ඇති බව අනාවරණය වී තිබේ. මෙම තර්ජනයෙන් බියට පත් කාන්තාව ඒ පිළිබඳ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාට පැමිණිලි කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී උප පොලිස් පරීක්ෂකවරයා සිදු කරන ලද දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර අනාවරණය වී තිබේ.

ඒ අනුව විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ වීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT