Home » මහනුවර බාලිකාවක ක්‍රිකට් පුහුණුකරු නෑවිත් වෙනත් පුහුණුකරුවකු යොදවා සංවර්ධන සමිති අරමුදලෙන් වැටුප් අරන් – පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ විමර්ශනයක් අරඹයි

මහනුවර බාලිකාවක ක්‍රිකට් පුහුණුකරු නෑවිත් වෙනත් පුහුණුකරුවකු යොදවා සංවර්ධන සමිති අරමුදලෙන් වැටුප් අරන් – පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ විමර්ශනයක් අරඹයි

by sachintha
March 6, 2024 12:00 am 0 comment

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ක්‍රිකට් පුහුණුකරු පුහුණුවීම්වලට නොපැමිණ පාසලේ හෝ මවුපියන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයකු පුහුණු කටයුතුවලට යොදවා පාසල් සංවර්ධන සමිති අරමුදලෙන් මාසිකව වැටුපක් ලබා ගන්නා බවට ලද පැමිණිල්ලක් මත මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පාසල් ක්‍රීඩාංගණයට ගොස් විමර්ශනයක් කර තිබේ.
පාසලෙන් වැටුප් ගන්නා පුහුණුකරු ඒ ආසන්නයේ පිරිමි විදුහලක පුහුණුවීම්වලට ගොස් බාලිකා පාසලේ පුහුණු කටයුතුවලට ඔහුගේ හිතවතකු යොමුකර සිටිනු පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ අතටම අසුවී ඇත. මේ තත්ත්වය හේතුවෙන් තම දරුවන්ගේ පුහුණුවීම්වලට බාධාවක් මෙන්ම ආරක්ෂාවට ද තර්ජනයක් මතුව ඇතැයි බාලිකා විදුහලේ ක්‍රිකට් මවුපිය එකමුතුව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
බාලිකා විදුහලේ පාසල් සංවර්ධන සමිතියෙන් ක්‍රිකට් පුහුණුකරුට මාසිකව රුපියල් 15000ක් ගෙවීමක් කර තිබෙන බවත් පුහුණුවට නොපැමිණ වෙනත් පුද්ගලයකු යොදවා ඔහු අදාළ මුදල් ලබාගෙන තිබෙන බවට ලැබුණු තොරතුරු මත විමර්ශනයක් කළ බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා කීය.
අදාළ පුහුණුකරු පිරිමි විදුහලක පුහුණුකරු ලෙස කටයුතු කරමින් රුපියල් 85000ක මුදලක් ලබා ගන්නා අතරතුර බාලිකා විදුහලේ පුහුණුකාර ධුරයේ ද කටයුතු කර තිබෙන අතර ඔහු වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරයා බාලිකා විදුහලේ විදුහල්පතිනියට දැනුම් දී ඇත.
මේ බාලිකා පාසලේ ක්‍රිකට් පුහුණුකරු ධුරයට කාන්තාවන් කීප දෙනෙකුම ඉල්ලුම් කර ඇතත් ඔවුන්ට පුහුණුකාර ධුරය නොදීමට පාසලෙන්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ක්‍රිකට් මවුපිය එකමුතුව පවසයි.
සම්මුඛ පරීක්ෂණයක් මඟින් කාන්තාවක් ක්‍රිකට් පුහුණුකාර ධුරයට බඳවා ගන්නා ලෙස බාලිකා විදුහලේ විදුහල්පතිනියට දැනුම් දුන් බව ද මේනක හේරත් මහතා කීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT