ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පාතාල ක්‍රියාකාරී දෙදෙනකුට රටින් පලායෑම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර විදෙස් ගමන් බලපත්‍ර සකස් කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු වන චමින්ද ජනක ගුණරත්න ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) නියෝග කර ඇත.
එසේම, මෙම සිද්ධියටම අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලක සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන ඉෂාර මෙන්ඩිස් යන අය රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (18) නියෝග කළාය. මෙම සිද්ධියට අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත්වරිය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම සැකකරු ඉකුත් 2021 වසරේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු ලෙස ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටිය දී පාතාල ක්‍රියාකාරිකයකු වන දොඩම්ගොඩ ලියනගේ ශාන් ආරේෂ් ලියනගේ නොහොත් ‘මතුගම ශාන්’ යන අයට රාජේෂ් කුමාර නමැත්තකුට අයත් ජාතික හැඳුනුම්පතට අනුව එන් 8962585 දරන විදෙස් ගමන් බලපත්‍රය සකස් කර දී ඇති බවය.
මෙම සැකකරු තම රාජකාරිය ඉටු කිරීමේ දී සැලකිල්ලක් නොදක්වා කටයුතු කර ඇති අතර එසේ නිසියාකාරව සොයා බලා සිය රාජකාරිය ඉටු කළා නම් අදාළ ඡායාරූපවල ඇති වෙනස්කම් සම්බන්ධයෙන් වැටහීමක් වන බවත් එසේ නම් මෙම වංචාව අල්ලා ගත හැකිව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම සැකකරු හිතාමතාම වංක චේතනාවෙන් මෙම වරද සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයකරන අතර, මීට මාස හයකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙසට සේවය කළ බවත්, ඔහු සිදුකර තිබුණේ අදාළ ලිපිගොනුවට අනුමැතිය ලබා දී අත්සන යෙදීම පමණක් බවත් ය. තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක්‍රියා කළා මිස චේතනාන්විතව කිසිවක් නොකළ බවත් ඔහුට පෙරවැරදි නොමැති යහපත් රාජ්‍ය සේවයේ නියුතුව සිටි නිලධාරියකු බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ ඉල්ලා සිටියේ ඕනෑම කොන්දේසියක් මත ඔහුට ඇප ලබා දෙන ලෙසටය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප ලබානොදීමට තරම් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවට තීරණය කරමින් රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුට ඇප ලබාදීමට තීරණය කළේය.
එමෙන්ම, මෙම සිද්ධියටම අදාළ අනෙක් සැකකරු වන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චමින්ද ජනක ගුණරත්න යන අය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම වරද සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී බවය. මෙම සැකකරු ආගමන විගමන කාර්යාලයේ වව්නියාව ශාඛාවට පත්වීමක් ලබා ගොස් සිටිය දී සුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් යන අයට මාණික්කුගේ දිනේෂ් සිල්වා යන නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර එන්. 9197915 දරන විදෙස් ගමන් බලපත්‍රය ඉකුත් 2022 වසරේ ජනවාරි මාසයේ දී සකස් කර දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් මාණික්කුගේ දිනේෂ් සිල්වා යන අය මේ වන විටත් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින අයකු වන බවත් ඔහුගේ ජාතික හැඳුනුම්පතේ ඇති ඡායාරූපය සහ සුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් යන අයවලුන්ගේ ඡායාරූප බැලූ බැල්මටම දෙදෙනකුගේ බවට පෙනී ගියද එය නොතකා මෙම සැකකරු අදාළ ක්‍රියාව සිදුකර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම සැකකරු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.