මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන භාවිත කරමින් සිදුකරනු ලබන මත්කුඩු බෙදා හැරීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු රැසක් හෙළි කරගත් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙක් සහ මත්කුඩු බෙදා හැරීමේ නියෝජිතයෙක් රුපියල් කෝටි 03කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමඟ පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම කර ඇත්තේ වග සහ හෝමාගම යන ප්‍රදේශ ආශිතවය. එහි දී ප්‍රධාන බෙදා හැරීමේ ජාවාරම්කරු වග, බැන්ඩිගම්පොල බාලගේ වත්තේ පිහිටි නිවසක දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 03ක් හමුවූ බව පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය. ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත ප්‍රවාහන සමාගමක ආහාර බෙදා හැරීමේ නිරතව සිටින පුද්ගලයකු හෝමාගමදී අත්අඩංගුවට ගෙන තිබේ. වග ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් සැකකරු විසින් සිල්ලරට අලෙවි කිරීමට ලබාදෙන මත්කුඩු පාර්සල් මෙම පුද්ගලයා කුරුණෑගල, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශවල සිටින ප්‍රදේශීය මත්කුඩු බෙදාහරින්නන් වෙත රැගෙන ගොස් ලබාදෙන බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 08කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මීගොඩ වසන්ත නමැති අයගේ මෙහෙයැවීම මත වග පිහිටි නිවසක් කේන්ද්‍රකරගෙන මහා පරිමාණයේ මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක් සිදුවන බවට මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත්තේ බුද්ධි තොරතුරු රැස් කිරීමෙන් අනතුරුවය.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ බුද්ධි නිලධාරියෙක් වන පොලිස් සැරයන් ජයලාල් (428) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ ගැන තොරතුරු රැස්කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම නිවස මත්කුඩු ගබඩාකර කොටස් වශයෙන් බෙදා හැරීමට යොදා ගන්නා බවය. වල දමා සඟවා ඇති මත්කුඩු අලුයම් කාලයට ගොඩගෙන සිල්ලරයට බෙදා හරින්නන්ට බෙදා දීමට කොටස්වලට වෙන්කරන බව ද එහි දී අනාවරණය වී තිබේ.
එම තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වෙමින් මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ ආර්.එම්.කේ. මහේන්ද් පෙරේරා ඇතුළු විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා සිදු කරන ලද වැටලීමේ දී නිශාන්ත කරුණාරත්න හෙවත් රැවුලා නමැති ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 03ක් සමඟිනි. එහි දී සැකකරු සන්තකයේ තිබී මත්කුඩුවල බර කිරීමට යොදා ගන්නා විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන 04ක්, බැංකු කාඩ්පත් 04ක්, පාස් පොත් 05ක් වීසා කාඩ් පතක් ද පොලිසිය සොයාගෙන තිබේ.
මෙම සැකකරුව මත්කුඩු සහ සොයාගත් භාණ්ඩද සමඟ රැඳවුම් නියෝගයක් මත ඉදිරි විමර්ශන පැවැත්වීමට හංවැල්ල පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද රැවුලා නමැති මෙම සැකකරු මීට පෙර මීගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව වසර 02ක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට 2023 ඔක්තෝබර් මස සිට හංවැල්ල පොලිස් වසමේ වග, බාලගේවත්ත ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ. ඊට පෙර ඔහු පදිංචිව සිට ඇත්තේ ඇරැව්වලය. මෙම නිවස ඔහු ගොඩනඟා ඇත්තේ රුපියල් ලක්ෂ පහ මාරකට ඉඩමක් මිල දී ගෙන බවත් එහි බිරිය හා දරුවා පදිංචිව සිටින බවත් පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මීගොඩ වසන්ත නමැති ජාවාරම්කරු දැන හඳුනාගෙන ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ දී බවත් ඇප මත නිදහස් වූ පසු මීගොඩ වසන්තගේ උපදෙස් මත ඔහු සිය නිවස මත්කුඩු ගබඩා කරන ස්ථානයක් බවට පත්කරගෙන මත්කුඩු බෙදා හැරීම සිදුකර ඇති බවත් අනාවරණය වී තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයවීර, පොලිස් සැරයන්වරුන් වන 428 ජයලාල්, 51068 පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසුරිය, 82353 අධිකාරි, 87119 අමිල, 39850 අශාන්, 91287 සංජිව, 92896 අකිල, 94009 සියන්ත, 104327 දිල්ශාන්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන . 12617 ශාලිකා, 13022 මෙලනි, 13103 සමිතා, පොලිස් කොස්තාපල් රියදුරන් වන . 80831 උදේශ්, 89631 අබේරත්න, 105529 සිල්වා, 105536 මල්ලවආරච්චි යන යන නිලධාරීන් කණ්ඩායම විසින් වැටලීම සිදුකර තිබුණි.