මීට වසර හතළිහකට පෙර අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරය දැරූ තමා නිල නිවසින් නෙරපා හැරීමට අනුරාධපුර වත්මන් නාගරික කොමසාරිස්වරයා නිකුත් කර ඇති නෙරපා හැරීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණාරත්න යන අය මහාධිකරණය හමුවේ පවරා ඇති රීට් පෙත්සම ලබන ජූනි මස 7 දින අනුරාධපුර අංක 3 මහාධිකරණයේ විනිසුරු චින්තක ගුණසේකර මහතා ඉදිරියේ යළි කැඳවීමට අනුරධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.
මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරයකු වන පියසේන කරුණාරත්න මහතා නාගරික කෙමාසාරිස් ධූරය හෙබවූ කාලයේ පදිංවිව සිටි නිල නිවසින් නෙරපා හැරීමට අනුරාධපුර වත්මන් නාගරික කොමසරිස් රුවන් විජේසිංහ මහතා නිකුත් කර ඇති නොතීසි නියෝගය අභියෝගයට ලක් කරමින් අනුරාධපුර මහධිකරණය හමුවේ ගොනු කර ඇති රීට් පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේදීය. හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණාරත්න පදිංවි සිටි නිල නිවසින් ඉවත් කිරීම සඳහා අනුරාධපුර වත්මන් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පළාත් පාලන ආයතනවල නිල නිවාස සන්තකය ආපසු ගැනීමේ පනත ප්‍රකාරව නෙරපා හැරීමේ නොතීසියක් මීට පෙර නිකුත් කළේය. පසුව එකී නෙරපීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණරත්න ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනානී දයාරත්න මහත්මිය මගින් අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම රීට් පෙත්සම ගොනු කර ඇත.
මෙම රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේ අනුරාධපුර වත්මන් නාගරික කොමසාරිස්වරයා සහ අනුරාධපුර මහ නගර සභාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පැවසුවේ අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් (පියසේන කරුණාරත්න) ඇතුළු තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනකු ඔවුන් පදිංචිව සිටි නිල නිවාසවල පරම සන්තකය ඔවුන්ට පවරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
එමෙන්ම අනුරාධපුර නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණාරත්න යන අය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ නඩුවක්ද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද කුරුප්පු මහතා අධිකරණයට අවධාරණය කළේය. මීට වසර 40කට පෙර අනුරාධපුර නාගරික කොමසාරිස් ධූරය දැරූ පියසේන කරුණානාරත්න යන අය සිය ධූරයේ බලය භාවිත කරමින් ඔහු පදිංචිව සිටි නිල නිවසට අයිතිවාසිකම් පෑමට හැකි වන පරිදි ලිපි ලේඛන සකසා ඇති බවටද නීතිඥවරයා චෝදනා කළේය.