ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිෙවසක් ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තැබීමේ සිද්ධියක් පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊයේ (18) උදෑසන සිය නිවසේ ප්‍රධාන දොර විවෘත කළ අවස්ථාවේ දී ඒ ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තිබෙනු දුටු මෙම ජේලර්වරයා ඒ පිළිබදව ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇති අතර අම්බලන්ගොඩ පොලිසියට ද පැමිණිලි කර ඇත.
ගාල්ල බන්ධනාගාරයේ සේවයේ නියුතු මෙම ජේලර්වරයා සිරමැදිරි සෝදිසි කිරීම්වල දී තහනම් ද්‍රව්‍ය රැසක් සිරකරුවන් සතුව තිබී සොයා ගෙන ඇති අතර ඒ පිළිබඳව ඇතැම් සිරකරුවන් ඔහුත් සමඟ අමනාපයෙන් සිටි බව ද ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. පසුගිය දිනවල එම බන්ධනාගාරයෙන් පිටත සිටින පුද්ගලයන් රබර් බෝල තුළ බහා එවූ ජංගම දුරකතන කිහිපයක් මෙම නිලධාරියා විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ද ඇතැම් රැඳවූවන් ඔහු සමඟ කෝපයෙන් සිටි බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් මත ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර මේ සිද්ධියට සැක කෙරෙන සිරකරුවකු සම්බන්ධව එහි දී තොරතුරු අනාවරණය වී ඇතැයි බන්ධනාගාර උසස් නිලධාරියකු දිනමිණට කීය. මේ සිරකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබුවකු බවත් විමර්ශන වාර්තා අනුව ඔහු මේ සිද්ධියට සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඔහු පිළිබඳව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.