Monday, May 20, 2024
Home » ආර්ථික ප්‍රකෘතිය උදා කරගත හැක්කේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකින් පමණයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථික ප්‍රකෘතිය උදා කරගත හැක්කේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකින් පමණයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by sachintha
March 25, 2024 1:01 am 0 comment

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදා කරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් මඟින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පීඩා මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය දීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘යුනයිටඩ් යුත් තරුණ එකමුතුව’ විසින් පොලොන්නරුවේදී පෙරේදා (23) පවත්වන ලද සුහද කතාබහට එක් වෙමිනි.

‘ජනපති සමඟ කතාබහක්’ නමින් පැවැත්වුණු මේ හමුවේදී රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතු කළ ගැටලු රැසකටද සාධනීය පිළිතුරු දුන්නේය. මෙහිදී තරුණ තරුණියන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“මා භාර ගත්තේ වැටුණු රටක්; භාර ගැනීමට දේශපාලන නායකයන් අකැමැති වු රටක්. මා සිතුවා මම මේ රට භාර ගත්තේ නැත් නම් රටට මොකක්ද වෙන්නේ කියලා. සමහරු හිතුවා රට භාර ගත්තොත් තමන්ගේ දේශපාලනය නැති වෙයි කියලා. ඔවුන් තමන් ගැන සිතද්දී මම හිතුවේ එම මොහොතේ රට භාර ගත්තේ නැත්නම් රට නැති වෙයි කියලා.

“එවැනි තත්ත්වයකයි මම රට භාර ගත්තේ. බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර අපට ණය දුන් රටවල් සමඟත් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ සාකච්ඡාවලින් පසු අපේ රටේ සංවර්ධන කටයුතු සඳහා නැවත එම රටවල සහාය හිමි වෙනවා. එහෙත් සියලු ප්‍රශ්නවලට එමඟින් විසඳුම් ලැබෙන්නේ නැහැ. අප තවමත් ආනයන පදනම් කරගත් ආර්ථිකයක්. සෑම වසරකම අපනයනවලට වඩා ආනයන වැඩියි. මේ පරතරය පියවාගැනීමට නැවත ණය ගැනීමට සිදු වනවා. එවිට තවත් වසර 10ක් යන විට නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

“අද ඔබ වයස අවුරුදු 27ක තරුණයකු නම්, වයස අවුරුදු 37 වන විට ඔබ නැවත මේ ආර්ථික පීඩනයට මුහුණ දීමට සූදානම්ද කියා ප්‍රශ්න කිරීමට මා කැමැතියි. ඉන්ධන නැති වූ, ආර්ථිකය කඩා වැටුණු රටක් භාර ගැනීමට ඒ වන විට කිසිවකු සිටීද කියාවත් කිව නොහැකියි. ඒ නිසා අප සියලු දෙනාගේ වගකීම වන්නේ මෙම ආර්ථික අර්බුදය මතු පරපුරට උරුම නොකිරීමයි. ඒ වෙනුවෙන් කැපවීම අප සියලු දෙනාගේ වගකීමක් බව මා විශ්වාස කරනවා. අප කඩිනමින් ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණයක් සිදු කළ යුතුයි. ආනයන පදනම් කරගත් ආර්ථිකයක සිට අපනයන පදනම් කරගත් ආර්ථිකයකට අප ගමන් කළ යුතුයි. ඒ සඳහා නගරයේ පමණක් නෙවෙයි ගමේද ආර්ථිකය දියුණු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අය වැය පාලනය කළ යුතුයි. රජයේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හොත් 2035 වසර වන විට ආපනයන ආර්ථිකයකට යොමු වීමට අපට හැකියාව තිබෙනවා. ඉන් පසු අපට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි. ඒ වගේම වසරකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහල නංවා ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් රටට ගෙන්වා ගත යුතුයි.

“එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගම දියුණු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. එවිට කෘෂි අපනයන කරා අපට පහසුවෙන් ළඟා විය හැකියි. එහිදී නව වගා හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර දූරියන් වගාව පිළිබඳ තායිලන්ත රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙරට තිබෙන භෝගවල ඵලදායිතාව ඉහළ නංවාගැනීමෙන් ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට හැකියාව තිබෙනවා. මේ හිඟුරක්ගොඩ ප්‍රදේශය දියුණු කිරීමට අප කටයුතු කර තිබෙන අතර, හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේදී මුදල් ලබා දිමට කටයුතු කළා. ඒ තුළින් මෙම පළාතට අභ්‍යන්තර ගුවන් සේවා ලැබෙනවා. ඒ වගේම පොලොන්නරුව ඓතිහාසික පුරවරය සංචාරකයන්ට දිවා රාත්‍රියේ විවෘත කළ හැකියි. අපේ සංස්කෘතිකාංග සහ නවීන නැටුම් ගැයුම් සහ දේශීය ආහාර පාන එක් කර සංචාරක වැඩසටහන් සැකසීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු සමඟ අප ඉදිරියට යා යුතුයි.

“ඒ නිසා රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේද කියා තරුණ පරපුර තීරණය කළ යුතුයි. ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල්බෙහෙත්කාරයෝ. තෙල්බෙහෙත් අරගෙන කිසිවකු සුව වී නැහැ. ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ කල්පනාකරිව කටයුතු කළ යුතු බව මා ප්‍රකාශ කරනවා.”

මේ අවස්ථවේදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපතිවරයා ඒවාට දුන් පිළිතුරු මෙසේය:

ප්‍රශ්නය: ලංකාපුර ග්‍රාමසේවා වසමට අයත් කුඹුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් කුඹුරු වන ජීවී දෙපාර්තමේන්තුවට අයත්. අපට වගා කටයුතු සඳහා එම කුඹුරු යළි ලබාදෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිළිතුර: 1985 වසරේ සිතියමට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තිබෙනවා. ඒ වගේම එම සිතියමට අනුව ගම්මානවලට අයත් ඉඩම්ද තිබෙනවා. එනිසා අප මේ පිළිබඳ සොයා බලා ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වනවා.

ප්‍රශ්නය: අප ජීවත් වන්නේ වැලිකන්ද ප්‍රදේශයේ ඈත දුෂ්කර ගමකයි. රජයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කටයුතු සිදු කිරීම සඳහා අපට ඉඩම් දෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිළිතුර: 1977 වන විට වැලිකන්ද ප්‍රදේශය පැවතුණේ මහා වනාන්තරයක් ලෙසයි. වැලිකන්ද සහ මාදුරුඔය අද කෘෂිකර්මාන්තය සඳහා ඉතා හොඳ ප්‍රදේශ බවට පත්ව තිබෙනවා. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම අප ආරම්භ කර තිබෙන උරුමය වැඩසටහන යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු දීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා. ලක්ෂ 20ක ජනතාවට නීත්‍යනුකූල ඉඩම් අයිතිය හිමි වන ඒ වැඩසටහන තව මාස දෙකක් ඇතුළත අවසන් කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, කෘෂි නවීකරණ වැඩසටහන යටතේ වගා කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් අප බලාපොරොත්තු වනවා.

ප්‍රශ්නය: සංචාරක කර්මාන්තය තුළ දිඹුලාගලට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කිරීම සුදුසු බව මම යෝජනා කරනවා.

පිළිතුර: සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර, මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය කරගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම අපේක්ෂාවයි. එහිදී සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ප්‍රදේශ ලෙස සියලු ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව කිව යුතුයි.

ප්‍රශ්නය: ජනාධිපතිතුමනි, මම නීතිය හදාරන සිසුවෙක්. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1989 වසරේ දී මගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙක් එක් දිනකදී මරා දමා මිලියන අටක දේපළ කොල්ලකෑවා. ඔවුන්ගේ මෘත දේහ පවා කනත්තට ගෙන යෑමටවත් ඉඩ දුන්නේ නැහැ. තවමත් ජනතා විමුක්ති පෙරමුණේ අවතාර තිබෙන නිසා අප පසු වන්නේ බියෙන්. ඒ පවුලේ වත්මන් සාමාජිකයකු වන මටද මගේ ව්‍යාපාර කටයුත්තක්වත් කරගැනීමට නොහැකි පරිදි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සතු ප්‍රධාන වීදීයේ තිබූ මගේ කඩ කාමරය දේශපාලන පළි ගැනීම් හේතුවෙන් මට අහිමි කර තිබෙනවා. දශක තුනක කාලයක් මා වැනි තරුණයන් බොහෝ පිරිසක් මේ දේශපාලන පළි ගැනීම්වලට ලක්වූ අතර, ඒ හේතුවෙන් අපට සුදුසු තැන නොලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාට යම් වැඩපිළිවෙළක් තිබෙනවාද කියා දැනගැනීමට කැමතියි.

පිළිතුර: අප ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කිරීමට සූදානම්. ඔබගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට සුබ පතනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ජගත් සමරවික්‍රම, යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් අසංක රත්නායක, ජාතික සංවිධායක විජිත් අනුරාධ යන මහත්වරු සහ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT