Home » සුව සේවාවේ නව පරිවර්තන පිළිබඳ පුළුල් සංවාදයකට ජනපතිගේ අවධානය

සුව සේවාවේ නව පරිවර්තන පිළිබඳ පුළුල් සංවාදයකට ජනපතිගේ අවධානය

by sachintha
March 25, 2024 1:00 am 0 comment

නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පෙරේදා (23) පැවති හමුවකදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ‘නායකත්වය සහ නිපුණතා සංවර්ධන’ දෙදින වැඩමුළුවක් පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී පෙරේදා ආරම්භ වූ අතර, එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගි වීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයටද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරියුමක් ලැබිණි. මේ හදිසි ඇරියුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතාබහක නිරත විය.

යටත්විජිත යුගයේ සිට ගොඩනඟාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත්, එය ලෝකයම පිළිගෙන ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාවට එක් කරගැනීමේ හැකියාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 10-15 තුළ මේ නව පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ඒ සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ආරාධනා කළ ජනාධිපතිවරයා මේ සියලු සාකච්ඡා දේශපාලනීකරණයෙන් තොරව තර්කානුකූලව සිදු කිරිමේ වැදගත්කම ද පැහැදිලි කළේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT