Saturday, April 27, 2024
Home » අසරණයන්ට යළිත් බෝම්බ ගැසීම

අසරණයන්ට යළිත් බෝම්බ ගැසීම

by sachintha
March 25, 2024 1:00 am 0 comment

ලජ්ජා නහරය කපා ගත් වන තමන් කියන්නේ කරන්නේ කුමක්දැ’යි, ඒ තැනැත්තෝ නොදනී. ජාතික ආරක්ෂාව වැනි බරපතළ කාරණා රාජ්‍ය නායකයා හිස මුදුනේ තබාගත යුත්තේ වුවද එකට ආණ්ඩුවේ සිටින පිරිස සහ විපක්ෂයේ පිරිස ගැන ඔත්තු බැලීමට බුද්ධි අංශ යොදාගත් වන, සහරාන් මේ ගාණට වැඩේ ඉවර කළා මදිදැ’යි සිතේ. දැන් හිටපු ජනාධිපතිවරයා කිය කියා ඇවිදින්නේ පාස්කු ප්‍රහාරය කරන ලද්දේ කවුරුන්දැයි තමන් දන්නා බවය.

1979 වසරේ සිට 2019 වසරේ පාස්කු ප්‍රහාරය තෙක් වසර හතළිහක් පුරා ඉස්ලාම් ත්‍රස්තවාදීහු ලොව පුරා ප්‍රහාර 33,769ක් සිදු කර තිබේ. ආගමේ නාමයෙන් අනෙකා වැනසීම මෙම ත්‍රස්තවාදීන්ගේ වුවමනාවය. එහෙම ගණන් හිලව් ඉහළ යැයි කියා, දකින හැම මුස්ලිම් ජාතිකයෙක් තුළම ත්‍රස්තයෙක් සැඟව සිටින්නේ යැයි නොසිතන ලෙස මේ තීරුව අවධාරණය කරන්නේය. මේ මාතෘකාව ඒතරම්ම සංවේදීය.

මෙම ප්‍රහාර මාලාවෙන් 167,096 දෙනෙක් අවසන් ගමන් ගොස් තිබේ. ලොව පුරා සිදු වන සියලුම ප්‍රහාරවලින් 18.8%ක් ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයන්ය. ත්‍රස්තවාදය හේතුවෙන් අහිමි වූ ජීවිතවලින් 39.1% කට වගකිව යුතු වන්නේ ඉස්ලාම් අන්තවාදය ය. 2013 වසරේ සිට මේ ගණන් හිලව් අමුතු ආකාරයකට චේන්ජ් වන්නේය. ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වන මරණ කාණ්ඩයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ කොටස, 63.4%ක් දක්වා ඉහළ ගියේය. මෙම ප්‍රවණතාව හඳුනාගත් ලෝකයේ රටවල් බොහෝමයක් සිය ආරක්ෂක දැල සවිමත් කළේය. සිදුරු අවම තත්ත්වයකට ගෙන ආවේය. ජනාධිපති පුටුව යනු නායකත්වය සහ මෙහෙයවීමය. ඒ තනතුරේ සිටින තෙමේ, රටක් දෙස සහ ලෝකයක් දෙස බලාගත් වනම සිටිය යුත්තේය. මෙවන් ප්‍රවණතා ලෝකයේ ඇති වග, සිය ආරක්ෂක ප්‍රධානීන් මාර්ගයෙන් දැනගත යුත්තේය. ජනාධිපති මෛත්‍රී එහෙම දේ සඳහා කිසිදා පියවර ගත්තේ නැත. ඔහුගේ අවශ්‍යතාව වූයේ තමන් දිගටම පුටුවේ රැඳී සිටින පරිසරයක් නිර්මාණය කර ගැනීමය. එජාපය සමඟ එක්ව රාජපක්ෂවරු පරාජය කළ, මෛත්‍රීගේ නාදය වූයේ, පරාජය වූයේ නම් තමන් අඩි හයක් යට බවය. ඉන් පස්සේ එජාපය සමඟ ගැටුණේය. ඒ ගැටී තමන්ව අඩි හයක් යට යවන්නට ඉන්නවා කියූ රාජපක්ෂවරයෙක් අගමැති කළේය. එතැනින් ද නොනැවතී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමේ සටනට ද සහාය දුන්නේය. ඔහොම වැල් පැද පැද සිටිනා අයෙක් පාලන බලය හොබවන විට අහක යන ඔළුවේ අමාරුකාරයෝ ද පහසුවෙන් ත්‍රස්තවාදීහු වන්නාහ.

ආරක්ෂක මණ්ඩලය වන් ජාතික ආරක්ෂාව පිළිබඳ වූ වැදගත් ව්‍යුහයන් පසෙකට දමා ඒවා දෙස ද දේශපාලන ඇසින් බලන තැනට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේදී කටයුතු කළේය. රටේ එක බෝම්බයක් නොව රට පුරා එකම දවසේ බෝම්බ මාලාවක් පත්තු වන්නේ ඒ නිසාය. ඒ මොහොතේ රටේ නායකයා සිටියේ සිංගප්පූරුවේය. පූරුවේ පින් නැති හෙයින්, රට පුරා සිය ආගම ඇදහීම පිණිස ගිය අසරණයෝ වැළලී ගියහ. ඒ අපරාධය සඳහා මෛත්‍රී සහ එවකට සිටි ආරක්ෂක ප්‍රධානීන් සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වරදකරුවෝ බවට පත් කර අවසන්ය. එසේ තිබියදී දැන් ද කට පියාගෙන ඉන්නට බැරිය. තව තවත් මේ වැඩේ ඇදගෙන යෑමෙන් නාන්නේ තමන් බව නොදැන, මේ මහතා කයිවාරු ගසන්නේය. මයික් දුටු විට ෆෝම් වෙන පොරවල් හැම ගමකම සිටින්නේය. සමිති සමාගම් රැස්ව කතා පවත්වන්නට දුන් විට, විනාඩි දෙකේ කතාව පැයට අදිනා පොරවල් ඇත. සමහරෙක්ට සංගීත සංදර්ශනහි මයික් දුටු විට ඉන්න බැරිය. ඒ පුද්ගලයෝ ගායන හැකියාව පෙන්වීම සඳහා කොහොම හෝ ස්ටේජ් එකට බඩගාගෙන යන්නාහ. මයික් කටා යන කාඩ් එක ඇත්තේ ඒ ජාතියේ බඩු සඳහාය. අස්ගිරි ගෙඩිගේ විහාරයේ උතුම් කර්තව්‍යයක් සඳහා ගිය විට ‘මයික් රෑන’ දැක පරලව ගොස් පාස්කු ප්‍රහාරය, මෛත්‍රීපාල මහතාගේ මතකයට ආවේය.

ලජ්ජා ඇති මිනිහෙක් නම්, දැන් එළියට පහළියට එන්නේ ද නැත. එහෙම වුවත් මේ රටේ මිනිස්සු හොඳ බැවින් තවම ඔය ජාතියේ අය නිදහසේ ඇවිද යන්නේය. එහෙම ගොස් මෙහෙම කතා දොඩවන කල්හි රටක් ලෙස අප නිකම් සිටිය යුත්තේ නැත. මෛත්‍රීගේ කතාව අනුව ඔහුව අධිකරණයට කැඳවා, මේ ගැන විනිසුරුවරු අසාගත යුතුය. එය රහසක් සේ රැකිය යුතුය.

පළමු කාරණය වන්නේ පාස්කු කොමිෂන් ගානේ වසර ගාණක් බඩගා ‘සෙම් මැටර්’ එකටම, අධිකරණය ඉදිරියේ පෙනී සිට, මේ කාරණය, ඒ හාදයා හෙළි නොකළේ ඇයිද යන්නය. අනික මේ කාරණා රහසිගතව තබාගත යුත්තේ මන්ද යන්නය. එහෙම රහස්, පවුලක දෙන්න දෙමහල්ලෝ අතර තිබිය හැකිය. දන්නා කියන යහළුවෝ එහෙම රහස් තබා ගනිති. ආයතනහි ඉහළ කළමනාකාරිත්වය එහෙම රහස් රකින්නේ ආයතනය වෙනුවෙනි.

මේවා අසරණයන්ගේ ජීවිත බැවින් එහෙම රහසක් අප රැකිය යුත්තේ නැත. ඒ ආකාරයේ කතාවක් අද ඊයේ මෛත්‍රීපාල මහතා වෙත දැන ගැනීමට ලැබුණේ නම්, ඒවා ප්‍රසිද්ධ කළ යුත්තේය. ඒ එහෙම ප්‍රසිද්ධ නොකරන්නේ නම්, මයික් දුටු වන ෆෝම් වී, කිය කියා ඇවිදින්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුත්තේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇසෙනා නඩුවකට මෝසමක් දමා, මේ කතාව ‘ඉන් කැමරා’ හෙවත් විනිසුරු කාමරයේදී යුෂ්මතාට කිව හැකිව තිබිණි.

මේ අසනීපයට හොඳම බෙහෙත ඇමැති ටිරාන් අලස් දීමට සැරසෙන බව පෙනේ. මේ ගැන වහාම ප්‍රකාශයක් ලබා ගන්නයි ඇමැතිවරයා, පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත්තේය. වහාම දින දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ මහතා කැන්දාගෙන ආ යුතුය. ප්‍රකාශය සටහන් කරගෙන අධිකරණයට වාර්තා කර පරීක්ෂණ කළ යුතුය. නිකන් ඉන්න වාරේ දොඩවා ඇත්නම් ඒ සඳහා ද සම්බුවක් දිය යුත්තේය.

ඡන්දයක් ළඟ ළඟ පැමිණෙන විට ඔහොම අසනීප වේගයෙන් පැතිරී යන්නේය. පෙර කාලයේ නම් තාජුඩීන් සහ ලසන්ත වික්‍රමතුංග ගොඩ එන්නාහ. දැන් ඒ ඉසව්වේ ‘සීසන් ටූ’ පෙන්වන්නට සැරසෙන කෙනා වෙත වහාම අප සී. අයි.ඩියේ දොර හැර අවස්ථාව ලබා දිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT