Home » ලොව මිල අධිකම Silver tips ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව මිල අධිකම Silver tips ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by chanaka
April 22, 2024 11:40 am 0 comment

මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමුවරට හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ පසුගියදා (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ කටුවන දී ආරම්භ කෙරිණි.

ඒ අනුව වලස්මුල්ල හා ඔකේවෙල යන ප්‍රදේශවල , එක් ප්‍රදේශයක පවුල් 300ක ගෘහණියන් තෝරාගෙන ඔවුන්ට මෙම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ පැළ හා වගාව සඳහා අවශ්‍ය උපකරණ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් ලබාදීමද මෙහිදී  සිදු කරන ලදි.

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාා විසින් මෙම තේ පැළ හා උපකරණ බෙදා දීම සිදු කෙරුණු අතර එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් නොමිලයේ සපයයි. මෙම Silver tips තේ කිලෝවක් රුපියල් 50,000ක් වන අතර තේ වගාව ආරම්භ කර වසරකට පසු මෙම ගෘහණියන්ට තම මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට හැකිවේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ අපේ රටේ තේ කර්මාන්තයේ අනාගතය ආරක්ෂාව වීමට නම් අපි නව අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා යොමු විය යුතු බවයි. ‘ශ්‍රී ලංකා තේවලට ඇති කීර්ති නාමය ආරක්ෂා වන පරිදි තේ නිෂ්පාදනය කිරීම සෑම තේ කර්මාන්තකරුවෙකුගේම වගකීම විය යුතුයි. අපේ තේ අපනයනය කිරීමේ දී හැකි තරම් ප්‍රතික්ෂේපිත තේ අඩංගු කිරීම වළක්වා ගත යුතුයි.මේ නිසා අපි මෙම වසරේ ජනවාරි මස 01 දින සිට B-60 ප්‍රතිපත්තිය අනිවාර්ය කර තිබෙනවා. තේවල අඩංගුවල තේ දළුවලින් හොඳම ප්‍රමාණය සියයට 60 සිට 80 දක්වා ගෙන ඒම අපේ ඉළක්කයයි. ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙනවා. මෙම කීර්ති නාමය අපි අඛණ්ඩව ආරක්ෂා කර ගත යුතුයි.

අද දින බෙදා හරින මෙම 20/43 තේ ප්‍රභේදය සිල්වර් ටිප්ස් තේ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩ සටහනක්. සිල්වර් ටිප්ස් තේ යනු ලෝකයේ ඉහළම මිලක් ඇති තේ විශේෂයක්. දකුණු පළාතේ කටුවන, වලස්මුල්ල හා ඔකේවෙල යන ප්‍රදේශවල කාන්තාවන් 300ත් බැගින් තෝරාගෙන ඔවුන්ට මෙම වගාව සඳහා අවශ්‍ය තේ පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය ජල පොම්ප ඇතුළු සියලු පහසුකම් අපි ලබා දෙනවා.

මෙමගින් වසරකට පසු මෙම ගෘහණියන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බැගින් ඉහළ නැංවීම අපේ ඉළක්කයයි. ඒ වගේම සිල්වර් ටිප්ස් තේ කර්මාන්තය Home Made නැත්නම් ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමුවරට හඳුන්වා දීම අද ආරම්භ කළා. මේ සඳහා කටයුතු කළ කුඩා තේවතු සංවර්ධන අධිකාරියට මගේ ස්තුතිය පිරිනමනවා ‘යැයි ද අමාත්‍යවරයා පැවසීය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී.ජී. මහීපාල මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT