Home » අහක යන වෙඩි ද අභියෝගයක් සේ ගමු

අහක යන වෙඩි ද අභියෝගයක් සේ ගමු

by sachintha
April 16, 2024 1:00 am 0 comment

වට්ස්ඇප් සහ මැසේජ් ඇතුළු සෑම මාධ්‍යයක්ම සුබපැතුමෙන් පිරී ඉතිරී ගොස් ඇති මේ සිංහල අවුරුද්දේ, අද දවසේ ද අපට චාරිත්‍රයක් ඉටු කිරීමට තිබේ. නැකතට පැළයක් සිටුවීම අන් සියලු නැකත් පරාද වන තරමේ චාරිත්‍රයකි. චාරිත්‍ර එකිනෙක ගෙන එකකට වඩා අනෙක හොඳ යැයි කිව නොහැක්කේය. එසේ වූවාට පැළයක් සිටුවීම යනු මේ දූෂ්‍ය වූ පරිසර ක්‍රියාදාමයට යන්තම් හෝ අලගු තැබීමක් වන හෙයින් එවන් චාරිත්‍රයක් ඉටු කිරීම සකලාංගයෙන්ම පොදු අරමුණක් වෙනුවෙන් ඉටු කරනු ලබන සුබාදායී කටයුත්තකි. රටක් ලෙස අප පසුගිය කාලය පුරා පැළ කර ඇත්තේ, ඉදිරි ආර්ථිකය ජය ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයන්ය. ලෝක තත්ත්වය ගෙන බලන විට, මේ වසර සංග්‍රාම අවුරුද්දක් වනු ඇතැයි ඉඟි පළ කළ හැකිය. ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාර සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් ඊශ්‍රායල් යුද කැබිනෙට්ටුව රැස්ව තිබේ. මේ සඳහා වන ප්‍රතිප්‍රහාරය අනුව මැදපෙරදිග සාමය පමණක් නොව ලොව සකල දෙස, සාමයමැ තීරණය වනු ඇත්තේය.

අපිදු ලෝකයේ පංගුකාරයන් හෙයින්, මේ හෙයියම්මාරු අපට ද නරකට බලපානවා ඇත. මේ දින කිහිපය බලන විට, අප ආර්ථිකයේ සුබ දිශාවක් දෙසට තල්ලු වෙමින් පවතින බව කිව හැක්කේය. 2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැඟී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී තිබේ. වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් රුපියල පෙන්වා දී ඇත්තේය. ඒ අනුව අප ලබා ඇති ආර්ථික ප්‍රගතිය ‘දැනෙන තැනකට’ පැමිණ ඇත්තේය.

කොහොමටත් මේ ප්‍රගතිය ජනතාවගේ ඇඟට දැනුණේ දැන් වසරකට පමණ පෙර සිටය. ගමේ කඩය පවා පවත්වාගෙන යා නොහැකි තැනට වැටී තිබූ ආර්ථිකය සවිමත් කරන ලද්දේ, ආණ්ඩුවේ නිවැරදි ප්‍රතිපත්ති තීරණ සහ ජනතා කැපවීම මතය. තෙල් මිල සහ ලයිට් බිල වැඩි කරන ලද්දේ, සිතා ගැනීමට ද නොහැකි පරිමාණයෙන්ය. ඒවා ජනතාව මත පීඩාව පටවා, සතුටු වීමේ උණක් සහිත ක්‍රියා කලාප නොව, තත්ත්වයට මුහුණ දීම සඳහා ඒ මොහොතේ ගන්නා ලද පියවර විය. මේ ආකාරයට යම් තදබල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිඵලය වූයේ, රටේ ආර්ථිකය ස්ථාවරභාවයක් කරා ළඟා වීමය. වෙනදාට අප අය වැයකදී අසන ලද ඉලක්කම් සියල්ල, සැබෑ ‘සල්ලි’ වුවද පසුගිය අය වැයේ අප දකින ලද්දේ අපේක්ෂාවන්ය. එම ඉලක්කම් සපුරා ගැනීම සඳහා ආණ්ඩුව දරන ලද ප්‍රයත්න මේ තරම් ඉක්මනින් සපුරා ගැනීමට හැකි වූයේ, අර්බුදයේ තරම වටහා ගත් ජනතාව, ආණ්ඩුව සමඟ සිටගෙන, රටම එකම න්‍යාය පත්‍රයක් බවට පත් කරගත්තේ හෙයිනි. වැඩි කරන ලද තෙල් මිල සහ විදුලි බිල, ලෙස්සන ගහෙන් බසින්නා සේ පහළට ගෙන ආවේ කැපවීම අනුව ළඟ ළඟ රිසල්ට් ලැබුණු හෙයිනි.

ගමන යන ආකාරය අනුව ‘ලැබුවා වූ අලුත් අවුරුද්ද’ අපට ජයග්‍රාහී මාවතක් හමුවන කාලයක් වන බවට සියලු ලකුණු පළ වී තිබේ. දැන් ඇත්තේ එතැන් සිට සැලසුම ක්‍රියාවට නඟන ආකාරය ය.

දමාවන්ද් ගිනිකන්ද මෙන් ‘ඉරාන සහ ඊශ්‍රායල් ප්‍රශ්නය’ දැනට ශේෂ වී තිබේ. වසර 7300කට පෙර අවසන් වරට සක්‍රිය වූ දමාවන්ද් ගිනි කන්ද සක්‍රිය තත්ත්වයේ පවතින යෝධ ගිනි කන්දකි. ආසියාවේ උසම යමහල වන මෙය ටෙහෙරාන් අගනගරයේ පිහිටා ඇත්තේ, අවදි නොවන යෝධයෙක් සේය. දැන් සිද්ධ වී ඇත්තේ, දමාවන්ද් ගිනිකන්ද ලෝකය මැද්දට විත් සක්‍රිය වන්නා වූ තත්ත්වයකි. ඉරාන වැසියෝ උදෑසන නැඟිට, කේතලය ළිපේ තබන්නේ කළු තේ පානයෙන් දවස ආරම්භ කිරීම සඳහාය. සෑම ආහාර වේලක් සමඟම කහට යහමින් ඇති කළු තේ පානයක් ගැනීම, ඉරාන සිරිතය. ලෝකයේ කොයි කොණෙන් තේ පැමිණියේ වුවද ‘සිලෝන් තේ’ රසය තරම් ඉරාන ජනයාගේ දිව පිනවන පානයක් තවත් නැත්තේය. අප තේ අපනයනයෙන් විශාල පංගුවක් ඉරානයට යන්නේ, මේ කැමැත්ත නිසාය. ලංකාවේ වැවෙන තේ සඳහා ලෝකයේ සිව්වැනි වැඩිම වෙළෙඳපොළ ඇත්තේ ඉරානයේය. එසේම ඉරානය අපට ණයට තෙල් දෙන රටකි.

මේ දෙක එකට සෙට් කරගෙන අප ‘දිග ආර්ථික ගමනක්’ පැමිණියේය. කොවිඩ් සමයෙන් පසු අපට පැමිණි ආර්ථික අර්බුද හමුවේ වුවද ඉරානය දිගටම අපට ණයට තෙල් ලබා දුන්නේ, පොල්ල තබන වග දැන දැන සමහර මිතුරෝ, මාසයේ අන්තිමට කීයක් හරි ණයට දෙනවා සේය. තෙල් සඳහා අපට දෙන්නට සල්ලි නැති හෙයින් ඒවා තේ මඟින් පියවීමට අප පොරොන්දු වුණෙමු.

බොරතෙල් සඳහා ඉරානයට ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක් වෙනුවට අපෙන් තේ ලබා ගැනීමට ඉරානය කැමැත්ත පළ කළේය. ඒ අනුව ලෝකයේ පැරණිම වෙළෙඳාම වූ ‘භාණ්ඩ හුවමාරු ක්‍රමයට’ අප ඉරානය සමඟ වැඩට බැස, ඩොලර් මිලියන 20ක තේ ලබා දී, තෙල් බිල ගෙවීමට ක්‍රමවේදයක් සකසාගෙන අවසන්ය. ඔය ආකාරයට තේ සහ තෙල් හුවමාරුවට අත තැබීමත් සමඟ, තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් දෙසීය දක්වා ඉහළ ගියේය.

ඉරානය සමඟ ඊශ්‍රායලය යුද්ධයක පැටලෙනවා කියූ සැණින් අපේ තේ ටිකේ සිට වැඩේ අලය. යන්තම් රුපියල ඉහළට ගෙනැවිත් ඇත්තේය. අහක යන කේස් යනු මේ වෙලාවේ අපට ඇති දරුණුම කරදරය. ඕවාට කියන්නේ ‘අපාලිත සාධක’ කියාය. එහෙම අපට කන්ට්‍රෝල් නැති ෆැක්ටර් ද අභියෝග ලෙස ගෙන මේ මාවතේ ඉදිරියට යෑම හැර අන් ජයක් අපට නැත්තේය. ආලෝකයේ පුලිඟු මේ අන්ධකාරය අතරේ ඈතින් පෙනෙන හෙයින්, දේශයේ ඉදිරි වැඩ පතා අප ඉදිරියටම යා යුතු යැයි පවසමින්, ලැබුවා වූ නව වසර සියලු දෙනා හට ‘සෞභාග්‍යය රජයන නව වසරක් වේවා!’ යැයි දිනමිණ ප්‍රාර්ථනා කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT