Home » පරාජිත වුවද වගකියමු

පරාජිත වුවද වගකියමු

by sachintha
April 29, 2024 1:00 am 0 comment

“මල්වලට කැමැත්තේ නමුදු මා උයන් පල්ලෙක් වීමට නොකැමැත්තෙමි.” යැයි විවාහය පිළිබඳව විචාරණ කල්හි ඇඩොල්ෆ් හිට්ලර් පිළිතුරු ලබාදුන්නේය. හිට්ලර්ගේ නම සඳහන් වන දේශපාලන සහ යුද ගතිකය සහිත ලිපි ගණනනට වඩා, ඔහුගේ ආදරය පිළිබඳව විවරණය කරන ලද ලේඛන ප්‍රමාණය වැඩිය. හිට්ලර්ගේ ජනඝාතක ක්‍රියා පටිපාටිය අතරේ ඔහුගේ ජීවිතය මැද්දෙන් ද ආදරය ගලා බැස්සේය. සිය පෞද්ගලික ජීවිතය පිළිබඳව ප්‍රසිද්ධ නොකර සිටීම හිට්ලර් චර්යාව බැවින් ඔහුගේ ආදරය සම්බන්ධයෙන් ලෝකයේ කතා රාශියකි. එසේ වූවාට ඊවා බ්‍රවුන් සමඟ හිට්ලර්ගේ දිවිසැරිය ගලා යන ලද්දේ බව පිළිගත් මතයකි. හිට්ලර්ට ඊවා මුණගැසෙන්නේ මිත්‍රයෙක්ගේ මාර්ගයෙනි. මිතුරාගේ ස්ටුඩියෝවේ සහායිකාවක් ලෙස සහ නළඟනක් ලෙසත් ඇය සේවය කරමින් සිටියදී, හිට්ලර් නම් පෞරුෂයට ඇය දැඩි ලෙස ප්‍රේම කරන්නට පටන් ගන්නීය. එතැන් සිට ආරම්භ වූ හිට්ලර් – ඊවා ප්‍රේම කතාව, රුසියන් හමුදාව බර්ලිනය ආක්‍රමණය කරන කල්හි අවසානය කරා ළඟා වෙමින් තිබුණි. සිය ආඥාදායකත්වය අවසන් වෙමින් පවතින බව වටහා ගත් හිට්ලර් වහාම යටිබිම්ගත ජීවිතය සඳහා නික්ම යන්නට විය. ලැබෙන සියලු ආරංචි අනුව ජර්මනිය පරාජයේ මුවවිට ඇත්තේ බැව්, හිට්ලර් ඉඳුරාම දැනගත්තේය. ඔහුගේ සහ ඊවාගේ ප්‍රේමය කඩදාසි මත විවාහයක් බවට පත් නොවූ හෙයින්, තව දින දෙක තුනකට නියත ලෙසම සීමා වන සිය ජීවිතය තුළ එය කඩදාසියෙන් ද විවාහයක් බවට පත් කළ යුත්තේ යැයි ජර්මානු ආඥාදායකයා තීරණය කළේය. ඒ අනුව බංකරයක් තුළ මරණය සහ පරාජය දැක දැක ඔවුනගේ ප්‍රේමය විවාහයක් ලෙස ලියාපදිංචි විය. 1945 වසරේ අද වන් දවසක හිට්ලර් – ඊවා විවාහය සිදු වූ හෙයින් මේ තීරුව එම සංවත්සරය සිහිකරන්නේය.

මරණය පෙනී පෙනී හිට්ලර් විවාහය රෙජිස්ටර් කරනුයේ, තමන් මිය ගිය පසු සිය ප්‍රේමය සඳහා ‘අනියම්’ යන වචනය එකතු නොවනු පිණිසය. තමන්ගේ ජීවන සහකාරිය සමඟ ඔහුට තිබූ ළබැඳියාව විවාහයක් නොවන්නේ නම් ඉතිහාසගත වනු ඇත්තේ කෙලෙස ද යන්න ඔහු සිතා බලන්නට ඇත. ඒ සඳහා වන වගකීමක් ලෙස හිට්ලර් සිය විවාහය වහවහා ලියාපදිංචි කර පැය හතළිස් අටකට පසු ජීවිතය ද නිමා කර ගත්තේය.

වගකීම වනාහි එවන් කාර්යයකි. වගවීම යන්න ඊට ද එහා ගිය කටයුත්තකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසම් නම් අතොරක් නැතිව පත්විය. තේරීම් කාරක සභා, නඩු ආදිය ද ඒ අතරේ විය. මරාගෙන මැරුණු ප්‍රහාරයක් සම්බන්ධයෙන් වන මාතෘකාවට කලින් කලට ගිනි දල්වන්නේ සිය දේශපාලන අභිප්‍රාය සපුරා ගනු රිසි තවත් පිරිසකි. මෑතකදී හිටපු ජනාධිපතිවරයා තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අලුත් දේ දන්නා බව කියා රහස් පොලීසිය පැත්තේ ද ගියේය. මාලිගාකන්ද අධිකරණයේ ඒ ගැන නඩු කටයුත්තක් ද සූදානම්ය. එසේ තිබියදී තමන් ජනාධිපති වූ කාලයේ සිදු වූ මේ ව්‍යසනය පිළිබඳව හෙතෙම පාස්කු විවාදයේදී කිසිවක් කතා නොකළේය. තමන් ළඟ ඇති අලුත් තොරතුර රට හමුවේ කීම සඳහා මෙවන් අවස්ථාවක් ඔහු හට ලැබෙන්නේ නැත. එම අවස්ථාව ඔහුට අත්හල නොහැක්කේය. රට ගිනි තැබීම සඳහා පාරේදී මයික්වලට කියන කතා, හැන්සාඩ්ගත කිරීම සඳහා ඔහු නොකියන්නේ ඇයි ද යන්න මේ තීරුව පළමුව ප්‍රශ්න කරන්නේය. එතැන ඇත්තේ වගකීම් විරහිතභාවය ය. රටක් පිළිබඳව සෙල්ලම් ගෙදරක තරමේ උනන්දුවක් නොතිබුණු මෛත්‍රීගේ පාලන සමය, මෙවන් අඳුරක් රටට ඉතුරු කළා පමණක් නොව විටින්විටේ හෙතෙම ඒ සඳහා ගිනි පිඹීම ද සිදු කරන්නේය. ඒ සියල්ල දේශපාලන වාසි බලාගෙන සහ තමන්ගේ ගැලවීම සඳහා දක්වන ප්‍රතික්‍රියා මිසක පාස්කු ප්‍රහාරයේ සත්‍යය සඳහා පෙනී සිටීම් නොවන්නේය.

මෙවන් ප්‍රශ්නයක් මත රට තවත් ඈලියාවට යෑම සඳහා ඉඩ දිය යුත්තේ නැත. දිගින් දිගටම පාස්කුව අල්ලාගෙන, මහ මොළකරු නම් තැනැත්තෙක් සමහරෙක් සොයන්නාහ. සහරාන් සහ ගැන්සිය මරාගෙන මැරුණු තැන සිට ආපස්සට සියල්ල බලාගෙන යන විට මහ මොළකරු කවුදැයි ලෝකයම දැනගෙන හමාරය. මෙය වූ කලී එදා පටන් ආ කුරුස යුද්ධයේ කතාවය. ඒ මිස වෙන කිසිවක් මේ වැඩේ පිටුපස නැත. සහරාන් වැනි ත්‍රස්තයන් සම්බන්ධව නියමාකාරයට තොරතුරු ලැබෙන අතරේ මෙවන් ප්‍රහාරයක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අධිකරණය සිය තීන්දුව ලබා දී අවසන්ය. එය වගවීම පිළිබඳ ප්‍රශ්නයකි. එතැනින් එහාට මහ මොළකරුම ඉල්ලීමේ රහසක් තිබේ. එකක් වන්නේ තමන්ගේ හිතේ මේ සම්බන්ධයෙන් ඇති වෙනත් කල්පනාවක් අනුව, මේ සඳහා අදිසි හස්තයක් ඇත්තේය යන අදහස මත මෙසේ මහ මොළකරු සොයා සමහරෙක් වෙහෙස වීමය. අනික් කරුණ නම් මෙම ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන යෑම තමන්ගේ පැවැත්ම සඳහා අතිශයින්ම වැදගත් යැයි සමහරෙක් සිතන්නාහ.

මේ සියල්ල වගකීම් විරහිතභාවය සහ තමන්ගේ දේශපාලනය සඳහා පාස්කු ප්‍රහාරය නම් ඛේදජනක සිද්ධිය උපයෝගි කර ගැනීම සඳහා ඇති ආශාවේ ප්‍රතිඵලය.

මරණය පෙනී පෙනී හිට්ලර් සිය විවාහය ලියාපදංචි කරනු ලැබුවේ වගකීමේ මුද්‍රාව ගෙන බංකරයෙන් පැන ගොස් සිය භාර්යාව සමඟ ඉතිරි ජීවිත කාලය ගෙවා දැමීමට නොවේ. ඉතිහාසයේදී තමන් පරාජිතයෙක් වුවද අසමජ්ජාතියෙක් නොවීම ඔහුගේ අභිප්‍රාය විය. පරාජය වුවද වගකීම සම්බන්ධයෙන් හිට්ලර් සිටියේ එවැනි තැනකය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් නාඩගම් නටන සියලු දෙනා වෙත මේ වගකීම මතක් කළ යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT