Tuesday, May 14, 2024
Home » වෙනසක් වෙනුවෙන් අප සමඟ එක්වන්න යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩලය

වෙනසක් වෙනුවෙන් අප සමඟ එක්වන්න යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩලය

by sachintha
April 29, 2024 1:00 am 0 comment

සිස්ටම් චේන්ජ් සඳහා මෙරට තරුණ, තරුණියන්ට යුනයිටඩ් යූත් තරුණ එකමුතුව සමඟ එක්විය හැකි බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කරයි.

මේ බව අනාවරණය වූයේ බත්තරමුල්ල, වෝටර්ස් ඒජ්හි පැවැති මාධ්‍ය හමුවේදීය. විද්‍යාඥයන්, නීතිවේදීන්, ව්‍යාපාරිකයන් සහ විවිධ වෘත්තිකයන්ගෙන් මෙම එකමුතුව සමන්විත වෙයි.

එහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් අසංක රත්නායක

“මෙරට තරුණ තරුණියන්ට හොඳ වේදිකාවක් මේ එකමුතුවෙන් දෙනවා. ඉදිරියේදී තරුණ තරුණියන්ගේ අදහස් සහ ගැටලු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනවා. අප ඉදිරියට ගමන් කරනවා. වත්මන් ජනාධිපතිවරයා පත්වන්නේ මෙරට විශාල ගැටලුවක් තිබෙන මොහොතක. දැන් එම තත්ත්වය විසඳෙමින් තිබෙනවා. අධ්‍යාපනය සම්බන්ධව ද ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනවා. තරුණ ප්‍රශ්න විසඳීමට අප ඔවුන් ළඟට යනවා.”

යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ ප්‍රවීනා ජෝසප් ද සේරම්

“මේ එකමුතුවේ සෑම ජන කොටසක්ම සිටිනවා. ඒ නිසයි මම ඒ සමඟ සම්බන්ධ වන්නේ. තරුණ කණ්ඩායම් කොහොමද ඉදිරියට යන්නේ කියා අප සිතන්න ඕනෙ. කාන්තාවන්ගේ හඬට සවන් දී එම ගැටලුවලට විසඳුම් අප දෙන්න ඕනෙ. ලෝකය හදන්න පෙර අපි අපේ ගෙදර හදන්න ඕනෙ.”

යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ චේත්‍යා බණ්ඩාර මැණිකේ

“ඇයි අපට වෙනස් විදිහට හිතන්න බැරි? තරුණ තරුණියන් ගවේෂණාත්මක විය යුතුයි. එක රාමුවකට කොටු නොවී තරුණ තරුණියන් කටයුතු කරන්න ඕනේ. බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෙ. අපේ රට තීරණාත්මක අවස්ථාවකයි තිබෙන්නේ. අපට ආකල්පමය වෙනස්වීමක් වෙන්න පුළුවන් නම් එයින් ලොකු වෙනසක් අපට කරන්න පුළුවන්. අපේ මේ තරුණ එකමුතුවෙන් අප සිදු කරන්නේ තරුණ තරුණියන් පිරිස එකතු කරගෙන ඉදිරි ගමනක් යන්න. තම තමන්ගේ කොටස තමන්ට කරන්න පුළුවන් නම් එය හොඳ ආරම්භයක්. තම තමන්ගේ වෙනස්වීම ආරම්භ කරන්න පුළුවන් නම් එතැන තමයි සිස්ටම් චේන්ජ් එක.”

යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ කංචන අකලංක

“බොහෝ අවස්ථාවල සිදු වන සිසු උද්ඝෝෂණ නිසා මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පරිහානියට පත්වෙලා. සිසුන් ඉගෙන ගන්නවාට වඩා සිදු කරන්නේ උද්ඝෝෂණ. ඔවුන්ව ඔවුන්ගේ අම්මලා, තාත්තලා විශ්වවිද්‍යාලයට එවන්නේ ඉගෙන ගන්න. එසේ නොමැති වුවහොත් මවුපියන් ඉගෙන ගැනීමේ කටයුතු සඳහා එවන මුදල් නාස්ති වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තිබෙන නවක වදය නිසා ඇතැමුන් ඒවාට යන්න කැමැති නෑ.

පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපනය වීම හොඳයි. ඒවා සඳහා විදෙස් සිසුන් පැමිණියහොත් අපට විදෙස් සංචිත ගන්න පුළුවන්. හැබැයි එම විශ්වවිද්‍යාල රජය විසින් නියාමනය විය යුතුයි. වාහන පර්මිට් ක්‍රමය නවත්වන්න ඕනෙ. ඒ අයට රජයෙන් වැටුප් ගෙවනවා. සිස්ටම් චේන්ජ් තුළින් මෙවැනි වෙනස් වීම් තමයි වෙන්න ඕනෙ. සිස්ටම් චේන්ජ් සඳහා තරුණ පිරිසට අපත් සමඟ එකතු විය හැකියි. අප ඉදිරියේදී විශාල වැඩ කොටසක් මේ රටට කරනවා. රාජ්‍ය විශ්වවිද්‍යාවල සිසුන්ට අපත් සමඟ සම්බන්ධ විය හැකියි.”

යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ බෙයානි දිල්රුක්ෂි-

“පසුගිය කාලයේ අප විවිධ ප්‍රශ්නවලට මුහුණපෑවා. කනගාටුදායක තත්ත්වයක තමයි මේ රට පත්ව තිබුණෙ. ගෑස් පෝලිම්වල ජනතාව හිටියා. ආණ්ඩුවෙන් හොඳ දෙයක් ගෙනාවොත් විපක්ෂය විරුද්ධ වෙනවා. අනෙක් පැත්තත් එහෙමයි. මේක තමයි සාම්ප්‍රදායික දේශපාලනය. පාර්ලිමේන්තුවේ කාන්තාවන් අවමයි. විදේශ ශ්‍රමිකයන් ලෙසත් ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩි වශයෙනුත් ඉන්නේ කාන්තාවන්. මේ රටට ජාතික දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ සඳහා පරිසරයක් අවශ්‍යයි. අප සියලු දෙනා එකතු විය යුතුයි. ඒ සඳහා මේ එකමුතුව සුදුසුයි. ජාතික රජයක් ඉදිරියේදී බිහිවිය යුතුයි. මේක මගේ පෞද්ගලික යෝජනාවක්. මේ රටේ ඇතැම් නීති සංශෝධනය විය යුතුයි.”

යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ ෂෆ්කි නවුෆර්

“මෙවැනි එකමුතුවක් ආරම්භ වීම ඉතා හොඳයි. සමාජ මාධ්‍ය තුළ සමහරු සිතන සිතන එක දමනවා. රටක් හදන්න කලින් අප හොඳ සමාජයක් නිර්මාණය කරන්න ඕනෙ. ඒ සඳහා හොඳ අධ්‍යාපනයක් වැදගත්. අප වයසට යද්දී මේ රට ඉතා හොඳ ස්ථානයකට අප ගෙනෙන්න ඕනෙ.”

උපාලි කරුණාරත්න
ඡායාරූපය – සුදත් මලවීර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT