Home » මාළුමාමා ඉව අල්ලන්නේ පොල්පොට්ටය

මාළුමාමා ඉව අල්ලන්නේ පොල්පොට්ටය

by sachintha
May 7, 2024 1:11 am 0 comment

මේ රටේ නීතිය තවමත් සිය බලසම්පන්නභාවය ප්‍රකට කරමින් සිටින්නේය. අපරාධ විෂයයෙහි එහෙම පහසුවෙන් කිසිවිටකත් ගැලවීමක් නැත්තේය. අධිකරණය සඳහා විනිශ්චයකාරවරු පත්කිරීම ආදිය විනිවිදභාවයෙන් සිදු කෙරෙන්නේය. කාට හෝ තම සිතැඟි අනුව නඩු තීන්දු බලය යොදවා ලබාගත නොහැක්කේය.

යම් දේශයක දේශපාලන ශීලාචාරකම මැන ගත හැකි හොඳම මිනුම් දණ්ඩ යුක්තිය පසිඳලීම සඳහා‍ අනුගමනය කරන ක්‍රියා පිළිවෙ‍‍‍තේ ඇති පවිත්‍රභාවය ය. 9 වැනි සියවසේ සිටි බ්‍රිතාන්‍ය නීතිවේදී ඒ.වී. ඩයිසි විසින් ජනප්‍රිය කරන ලද ‘නීතියේ ආධිපත්‍යය’ යන පදය අනුව රටක සියල්ලන්ටම ඉහළින් සිටිනුයේ නීතිය ය. එය එකිනෙකාට වෙනස් නොවේ. සියලු දෙනා වෙත සමාන ආකාරයෙන් බලපාන්නේය. නීතියේ ආධිපත්‍යය යන්න එමඟින් පමණක් තහවුරු වන්නේ නැත. එයට ඉහළින් කිසිවෙක් නැත යන්න ද එයින් ගම්‍ය කරන්නේය. නීතියේ ආධිපත්‍යය යන්න බිහිවෙන්නේ ජනතාව සතු ‘පරමාධිපත්‍ය බලය’ ඔස්සේය. කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රකාශය අනුව යළි මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, ගල්කටස් තුවක්කුව වෙත පවරාදීමේ සූදානමක් ඇත්තේය.

මාලිමාවේ මැයි රැලියේදී ලාල්ගෙන් එළියට පැන්නේ ජවිපෙ සඟවාගෙන සිටින අභිලාෂයකි. “ඔබේ ගමට නීතිය හදා ගන්න බලයක්, ක්‍රමයක්, අපි ඔබට හදා දෙනවා. ගිහිල්ලා කල්පනා කරන්න මොකක්ද මැයි දිනයේ දී කිව්වේ කියලා. ගමට නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඔබට නීතිය පසිඳලන්න බලයක්, යම් අධිකරණ බලයක් ගමට දෙනවා. නීතිය හදාගන්න බලයත් නීතිය ක්‍රියාත්මක කරන බලයත් නීතිය පසිඳලීමේ බලයත් පහළට, පහළට, පහළට බෙදලා දෙන නව දේශපාලන පරිවර්තනයක් මේ රටේ ඇති කරනවා” යැයි ලාල් කියන්නේ නිකං නොවේ. මාලිමාවට මුවාවී දැන් කලඑළි බැස්සාට, තවම මේ පිරිස යන්නේ 87 – 89 තාලයටය.

නීතියේ ආධිපත්‍යය යනු එහෙම මැයි රැලිය බැලීමට පැමිණි ජෙප්පෝ වෙත බෙදා දිය හැකි යමක් නොවේ. නීතියේ ආධිපත්‍යය සඳහා විධිමත් ආයතනික සැලසුමක් මිස තම පක්ෂයේ පහළ කේඩරයන් පත් කළ නොහැකිය. අවම තරමේ සමථ මණ්ඩල විෂයය සඳහා හෝ එහෙම බත් බැලයන් පත් කිරීම නීතියේ ආධිපත්‍යය සඳහා දරුණු හානියක් කරනවා ඇත.

‘ආණ්ඩු කළ යුත්තේ නීතිය විසිනි.’ යැයි ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මුල්ගල තබන කාලයේය. නීති සම්පාදකයින් ද ඇතුළත්ව, සෑම පුරවැසියෙක්ම නීතියට යටත් බව ‘නීතියේ ආධිපත්‍යය’ යන සංකල්පයෙන් තහවුරු කරන බව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයකි. එය විශේෂිත වූ පිරිසකට බෙදා දිය නොහැකිය. දෙමටගොඩ මස් මඩුව එහා පැත්තේ වත්තේ පාතාලය නඩු අහන තාලයක් තිබුණි. ප්‍රින්ස් කොලම් නඩු අහන ලද්දේ බ්ලූමැන්ඩල් පාරේ මැද හරියේ සිය වැයික්කියේ සිටය. කප්පම් නොදුන් කඩයක මුදාලාලි ප්‍රින්ස් කොලම්ගේ ‘උසාවියට’ කුදලාගෙන එන්නේ ඔහුගේ සහචරයන් විසිනි. මේසයක් උඩ කකුල් දෙක තබා ගත් ප්‍රින්ස්, අර මුදලාලි දණ ගස්සවා නඩු අහනු ලබයි. භාෂාව අතිශය අසභ්‍යය. දඬුවම අතපය කැපීමේ සිට මරණ දණ්ඩනය දක්වා පරාසයක විහිදෙන්නේය. නීතිඥ සහාය ආදිය නැත්තේ හෙයින්, ‘නඩුකාරයා’ කියන දෙයක් අසාගෙන සිටිනවා හැර ‘විත්තියට’ කළ හැකි යමක් නැත. මේ පන්නයට තවත් දෙකොටසක් මේ රටේ නඩු ඇසුවේය. ප්‍රභාකරන් ද පිස්සුව තදවූ කාලයේ උසාවි ආරම්භ කළේය. නඩුකාරයෝ වූයේ එල්ටීටීඊ ගොට්ටෝය. ඒවායේ නඩු අසන ලද්දේ වෙනම රාජ්‍යයක් සඳහා එන ගමනට ‘බඩු ලැහැස්තියි’ කියා ලෝකයාට පෙන්වන්නටය.

ජවිපෙ ලේ රහ බලන කාලයේ එහෙම නඩු අසා පළමුව බෝඩ් අල්ලාගෙන තම දේශපාලන පක්ෂයෙන් අස්වෙන ලෙස ජනතාවට දැනුම් දුන්නේය. මේ ආකාරයට තමන් අහවල් පක්ෂයෙන් අස්වෙන බව කියා බෝඩ් අල්ලාගත් පිරිස් එකල මාතර බෝධිය ඉදිරිපිට සිටියෝය. සමහරුන්ට පක්ෂයේ සන්නද්ධ අංශය මරණ දඬුවම දෙන්නේ ඒකපාර්ශ්විකවය. පසුව සිය ඝාතක කල්ලිය ලවා ඒ මිනිසා වෙඩි තබා ඝාතනය කරන්නේය. මිනිය ගෙන යා යුත්තේ ‘දණහිසෙන් පහළට’ බව කියමින් අවමංගල්‍ය උත්සවය සිදු කෙරෙන ආකාරය ද ‘කීර්ති විජයබාහු’ වෙනම නිවේදනයක් මඟින් දන්වන්නේය.

මේ කැලෑ නීතිය සඳහා ජවිපෙ තවම කැමැතිය. ඔය පොල්පොට් නම් වාමාංශිකයා රඟන ලද ආකාරය ය. , කෙමර් රූජ් මාක්ස්වාදී ගරිල්ලන් වෙත හේ නායකත්වය සැපයුවේය. ඔහු මුල සිටම කාම්බෝජයේ කොමියුනිස්ට් විප්ලවවාදියෙකි. 1963 සිට 1981 දක්වා හෙතෙම කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ලෙසින් සේවය කළේය. 1976 සිට 1979 දක්වා කාම්බෝජයේ අගමැති ලෙස පොල්පොට් සිදු කළේ රට පාලනය නොව ජන සංහාරයන්ය. උතුරු කොරියාවේ සිටින කෙනා ද එබඳුය.

මේ තාලය සිතේ තබාගෙන ජවිපෙ කියන්නේ වෙනකකි. ලාල්කාන්ත එහෙම නැත. ඔහු සිතේ ඇති දේම කියයි. පක්ෂයේ ඇත්ත එහෙම එළියට දැමීම පිළිබඳව මේ තීරුව ලාල් වෙත තුති පුදන්නේය.

මාලිමාව නොව මේ මාළුමාමා ලෙස වුවද මේ ජාතියේ සෙල්ලම් සඳහා මේ රටේ ජනතාව කැමැත්ත දක්වන්නේ නැත. පක්ෂයේ සිටින ගමේ පිරිසට ලාල් දෙන පණිවිඩය නම්, ගමේ නඩු ඇසීම සඳහා සූදානම් වෙන ලෙසය. ඒ ආකාරයේ පාදඩකරණයක් රටක් සමඟ සිදු කිරීමට බලාපොරොත්තු වෙන යමෙක් සඳහා මේ සමාජය ප්‍රසිද්ධියේ විරුද්ධ විය යුතුය. වෙන පක්ෂ නායකයෙක් ඔය ආකාරයට කතාවක් පැවැත්වූයේ නම් කට්ටියක් දැන් ජිනීවා ගොස් පැමිණිලි දමන්නාහ. අලුත්කඩේ නීතිඥ සංගමය රට පුරාම අධිකරණ ඉදිරිපිට විරෝධතා දක්වන්නට පටන්ගෙනය.

ලාල්ගේ කතාව ගැන හූම් සද්දයක් ඒ පිරිස නැත. නීතියේ ආධිපත්‍යය මාලිමාවේ කට්ට අනුව කැරකෙනවාට ඒ පිරිස නිහඬව අනුමැතිය ලබා දෙනවා විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගලවාගෙන එහෙම නඩු අහන රටක් සඳහා මේ සමාජය නම් අනුමැතියක් දෙන්නේ නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT