Home » ‘කාල් ලාන්ත’ ලිස්ට් එක දැන් රෙඩි ද ?

‘කාල් ලාන්ත’ ලිස්ට් එක දැන් රෙඩි ද ?

by sachintha
May 8, 2024 1:00 am 0 comment

සාලොත් සාර් කියූ කල්හි සාර් රජුගේ කවුරුන් හෝ මිස ලෙනින් මතක් වන්නේ නැත. ඒ නම කියූ විට මතක් විය යුත්තේ ලෙනින්ය. 1976 වසරේ කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහි කරන ලද්දේ සාලොත් සාර්ය. සාමාජිකයන් 250කින් සමන්විත වූ මෙම දේශපාලන මණ්ඩලයේ නායකත්වය සඳහා පත්වූ පොල්පොට්ගේ මුල් නම සාලොත් සාර්ය. පෝල්පොට්ගේ නායකත්වයෙන් යුත් මාක්ස් – ලෙනින්වාදී ආණ්ඩුව බලය පැහැර ගත් පසු එතෙක් තිබූ සමාජ කතිකාවතේ සියලු පුරුෂාර්ථ උඩු යටි කූරු කළේය. රටක් පාලනය සඳහා භාර ගන්නා සමහර නාස්තිකවාදීහු පළමුව අත තබන්නේ ඒ රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය වෙතය. මාක්ස්වාදී අබිං කෑ කල්හි ආගම වනාහි හළා හළ විසකි. ලෝකයා රැවටීම සඳහා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් හමුවන්නට යන්නේ මුත් ජවිපෙ ද මේ ගණයට වැටෙන පක්ෂයකි. බුද්ධාගම සම්බන්ධයෙන් මේ රට විශේෂත්වයක් දැක්විය යුතු නමුදු ජවිපෙ මාක්ස්ගේ න්‍යාය අනුව එහෙම විශේෂ තත්ත්වයක් බුද්ධාගමට ලබා දෙන්නේ නැත. අන් කිසිම ආගමකට ද මේ කාණ්ඩයෙන් සහනයක් නැත. ආගම් නැති කිරීම මාක්ස් ලෙනින්වාදයේ න්‍යායය. එවැනි සංස්කෘතික වටිනාකම් පසෙක තබමු. රටේ නීතිය සඳහා හෝ ඔවුන් සාධාරණයක් නොකරන බව ‘කාල් ලාන්ත’ නම් කාල් මාක්ස්ට ද එහා ගිය තෙමේ, පසුගිය දා කියා සිටියේය.

කාල් මාක්ස්වාදියෙක් වූ පොල්පොට් නම් අනගි උදාහරණය සිහි ගන්වන්නේ ‘කාල් ලාන්තගේ’ ක්‍රමයය. තවම පියාඹන්නේ නැති හෙයින් ජවිපෙ ඇත්ත රතු පාට, රටට පෙනෙන්නේ නැත. විදේශ භාෂා කතා කිරීම, උපැස් පැලඳීම, ආහාර ගබඩාකර ගැනීම, මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම, අතීතය ගැන කල්පනා කිරීම යන ආදිය පොල්පොට්ගේ පාලන කාලයේ කාම්බෝජ වැසියන්ට මුළුමනින්ම තහනම් විය. එම නීතියක් කඩ කිරීම වනාහි මරා දැමීම සඳහා වූ සුදුසුකමකි. එහෙම දඬුවම් ලබා දෙන්නේ අධිකරණයක් මඟින් නොවේ. පහළ සාමාජිකයාගේ තීන්දුව අනුවය. පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීන්දුවක් ගෙන, එය පහළ කාඩරයන් වෙත දැන්වූ පසු, නඩුව සේම තීන්දුව ද ලබා දෙන්නේ කාඩරයන් විසිනි. කාල් ලාන්තම ප්‍රසිද්ධියේ කියන ආකාරයට තම ආණ්ඩුවක් පැමිණි විට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දෙන්නේ ගමේ සිටින ජවිපෙ සාමාජිකයාට හෙයින්, මේ රටේ ද පොල්පොට් ආණ්ඩුවක් බිහිකර ගැනීමට රිසි අයෙක් වේ නම් ඒ මඟ ගත හැක්කේය.

මේ ආකාරයට නීතිය අතට ගත් පොල්පොට්ගේ ගමේ අනුගාමිකයෝ, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් උගතුන්, මාධ්‍යවේදීන්, තෝර තෝරා පවුල් පිටින් ඝාතනය කළෝය. ඔහොම කාලයක් පැමිණි විට මැරුම් කනවා හැර කරන්නට දෙයක් නැත. පොලිසිය සහ උසාවිය යනු පක්ෂයම බැවින්, පක්ෂය විසින් මේ පිරිස් ජන සතුරන් හෝ ද්‍රෝහීන් ලෙස සැලකු කල්හි, පොලු පහර ලබා දී, පිහිවලින් ඇන නැතිනම් වෙඩි තබා ඒ පිරිස් මරා දැමීම සිදු කරන්නේය. ඒවා අත තබා නතර කර ගත නොහැකිය.

මාලිමාවේ සමහරෙක් ගණිකා වෘත්තිය නීතිගත කරන බව පවසන්නාහ. මේ රටේ කාන්තාව එහෙම ජරස්ථ ස්ථානයකට යොදවන තරමේ හිරිකිතයක් නැති කතා කියන පිරිස, තමන් අතට බලයක් ලැබුණහොත් ඉතිරි හරිය කොහොම කර ගනීවිදැයි දැන ගත හැක්කේය. කාල් ලාන්තට දැන් බ්‍රේක් නැතිව ගොස් තිබේ. ගිනිකන වැටෙනවා කියන්නේ ඔය තත්ත්වයටය. වටේ ඉන්න පිරිස දෙන ෆෝම් එකට දැන් කාල් ලාන්ත ඇතුළු පිරිසගේ ඇස් ගිනිකන වැටී ඇති හෙයින් ගමේ ඉන්න පක්ෂයේ එකාට තලු මරන්න යමක් දීය යුතුය. මේවා අතපසු වීම් නොවේ. හිත ඇතුළේ හැඟුණු දේවල් එළියට එන ආකාරයය. ගිනිකන වැටුණු සැණින් එවන් වචන රාශියක් එළි දකින්නේය. ඔය වැනි වචන යළි හකුළා ගත හැකි දේ නොවේ. එහෙම කතා කියන්නේ ද හකුළා ගැනීමේ අභිලාශය ඇතිව නොවේ. ගමේ ඉන්න පක්ෂයේ අයවලුන්, මේ මත්තේ වටේ ඉන්න, තරහ මරහ ඇති පිරිස ද දමාගෙන ලිස්ට් හදා ගන්නේ බැවින් මැයි පළවෙනිදා කාල් ලාන්ත කියූ වචනය දැන් හොඳට ඔඩු දුවා තිබෙනු ඇත.

1975 – 1979 කාලයේ කාම්බෝජයේ ලක්ෂ තිහකට අධික ජනී ජනයා ඝාතනය වන්නේ කාල් ලාන්ත පන්නයෙන්, නීතිය පක්ෂයට සින්න කර ගත් හෙයිනි. කාල් ලාන්තට අනුව තමන් වෙත බලය ලැබුණු කල්හි නීතිය සහ යුක්තිය පසිඳලීම ඒ ඒ ගමේ ඉන්න පක්ෂ සාමාජිකයෝ වෙත පැවරෙන කටයුත්තකි. කාල් ලාන්ත “ඔබේ ගමට නීතිය හදා ගන්න බලයක්, ක්‍රමයක්, අපි ඔබට හදා දෙනවා. ගිහිල්ලා කල්පනා කරන්න මොකක්ද මැයි දිනයේ දී කිව්වේ කියලා. ගමට නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඔබට නීතිය පසිඳලන්න බලයක්, යම් අධිකරණ බලයක් ගමට දෙනවා. නීතිය හදාගන්න බලයත් නීතිය ක්‍රියාත්මක කරන බලයත් නීතිය පසිඳලීමේ බලයත් පහළට, පහළට, පහළට බෙදලා දෙන නව දේශපාලන පරිවර්තනයක් මේ රටේ ඇති කරනවා” යැයි කියන ලද්දේ පොල්පොට්ගේ කාම්බෝජය සිහියට ගෙන විය හැකිය. මේ කතාවේදී කාල් ලාන්ත කියන්නේ “ගිහිල්ලා කල්පනා කරන්න මොකක්ද මැයි දිනයේ දී කිව්වේ කියලා.” කියාය. ඒ කියන්නේ දැන් ඉඳන්ම ගිනි තියන, මිනිමරන වැඩේට සූදානම් වන ලෙසය. ඔහොම පහළට පහළට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලබාදෙනවා කියා, ගෙදර ගිහින් කල්පනා කරන ලෙස ද කියා සිටින්නේ, වෙන වැඩක් ගැන සිතීමට නොවේ ‘ලිස්ට් එක දැන් තියාම හදාගන්න’ කියන එකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT