තරබාරු ඉංග්‍රීසි වෛද්‍ය ජෝර්ජ් චේන්, 18 වන සියවසේ මුල් භාගයේ ජීවත්වූ අයෙකි. හෙතෙම ස්ථූලතාව මට්ටු කිරීම සඳහා සැලසුම්ගත ආහාර රටාවක් හඳුන්වා දුන් පළමු තැනැත්තා විය. ‘සෞඛ්‍යය සහ දිගු ජීවිතය පිළිබඳ රචනයක්’ නමින් ඔහු පළ කළ නිබන්ධනය, බටහිර සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ආහාර පාලනය හුරු කරන ලද පළමු වතාවය. ‘සුඛෝපභෝගී ආහාර’වලින් වැළකීම හඳුන්වා දෙන ලද්දේ මෙම රචනයේදීය. සැපට කෑම සෞඛ්‍යයට හොඳ බව ඒ කාලයේ මතය ය. මේ නිසා ඇති පදමට සැප ආහාර ගැනීමේ කලාව යුරෝපය පුරා ප්‍රචලිතව තිබුණි. ඒ සියල්ල දැන් අවුට් ඩේටඩ්ය. ‘පාලනයෙන් යුතු ආහාර වේල’ දැන් නම් ජනප්‍රිය සංස්කෘතික අංගයකි. මේ අංගයේ ක්ලයි මැක්ස් එක බවට පත්ව ඇත්තේ සික්ස් පැක් දක්වා යෑමය. කාන්තා පැත්තෙන් නම් ස්ලිම් බොඩි ටයිප් එකක් දක්වා කන්වර්ට් වීමය.
ආහාරය සඳහා පාලනයක් ඇතිවෙන අතරේ ක්ෂණික ආහාර සහ තරබාරුව සඳහාම වූ ආහාර රටාවක් වෙත ජනයා යොමු කරවන ‘කෑමේ සංස්කෘතිය’ ද එළව එළවා පසු පසෙන් ඒම හේතුවෙන්, දැන් ඩයටින් සහ ඊටින් අතර තරගයක් නිර්මාණය වී තිබේ.
පසුගිය මාස තුනක කාලය පුරා බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ හදිසි මරණ පරීක්ෂණවලදී වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ හෘදයාබාධ හේතුවෙන් බව අනාවරණය වී තිබේ. මේ අන් කිසිවක ප්‍රතිඵල නොව වෙලාවක් කලාවක් නොමැතිව අතට අසුවෙන හැම දෙයක්ම ගිල දැමීමේ විපාකය ය. මිනිස්සු ආහාර ගත යුත්තේ ජීවිතය පවත්වාගෙන යෑම පිණිස ය. නීරෝගිභාවය අහෝසි කරන ආකාරයට ආහාර ගැනීම හේතුවෙන් අද අප ආහාර නිසාමැ ‘වේලාසනින් නික්ම’ යන තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබේ. කන ප්‍රමාණය හෝ තමන්ගේ ශරීර ස්කන්ධය අනුව ආහාර ගන්නා ආකාරය, තම තම නැණ පමණින් දැන, පිඟානේ සිටම පටන්ගත යුත්තකි. ආහාරය නිසි ආකාරයෙන් ගන්නේ නම් බෙහෙත් ආහාරයක් ලෙස ගැනීමට සිදු වන්නේ නැති බව අප්‍රමාණ වාරයක් දොස්තරලා කියා ඇත්තේ මුත්, අප සමාජයට අවශ්‍යව ඇත්තේ ගිජුකමට ඉඩදී, ටික කලකින් රෝහල් ඇඳක ගත කිරීමටය.
ජාත්‍යන්තර ආහාර නොගැනීමේ දිනය අදට යෙදී තිබේ. එහෙම කියූ පළියට අද නොකා සිටින්නේ එහි සංවිධායක මණ්ඩලය පමණක් වෙනවා ඇත. ආහාරය පිළිබඳව අපේ සමාජය අර්බුද කිහිපයකින් පෙළෙන්නේය. එක් අර්බුදයක් වන්නේ සමාජ ස්ථරයේ සියයට 20ක පමණ ප්‍රමාණයක් අධි ආහාර පරිභෝජනයේ යෙදී සිටීමය. තව පිරිසක් බඩ පැළෙන්න කන්නේ වුවද පෝෂණය හිඟය. අනික් පිරිසට ආහාර අර්බුදයක් ඇත්තේය. මෙහි අර්ථය නොකා සිටීම නොවේ. හම්බ කරන සියල්ලම කෑමට වැය කිරීමය.
2023 අප්‍රේල් මාසයට පෙර ශ්‍රී ලංකාව තිබුණේ ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් දහය අතරේය. අප්‍රේල් මාසයේදී එම රටවල් දහයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව පියවර ගත්තේය. ඊට පෙර වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව මේ ලිස්ට් එකේ පස් වැනි ස්ථානයේ පසුවිය. ඒ කාලයේ ආහාර උද්ධමනය 47.6% කි. මේ සිංහල අවුරුද්ද වන විට තව තවත් ආහාර උද්ධමනය අඩුව ගියේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මාර්තු මාසයේ සියයට 5.0 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 2.9 ක් දක්වා පහළ ගියේය. උද්ධමනය පහළ ගිය ද ලැබෙන පඩිය අනුව පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමක් සඳහා යා නොහැකි බව අපේ බහුතරයගේ අදහසය. මෙතැන ඇත්තේ සැලසුමක් නොමැතිකමය. කඩේට ගොස් අඩුවට ඇති දේ හෝ අතේ ඇති ගාණට කෑම රැගෙන එම අපේ සිරිතය. ගෙදර සිටින පිරිසගේ වයස් කාණ්ඩ අනුව සැලසුම් කරන ලද ආහාර වේලක් සඳහා එහෙම මහ ගණන් වැය වන්නේ නැත. දැන් නම් වන්නකු මෙතඩ් ආදිය ඇත්තේ බැවින් ඒ අනුව එක් එක් නිවසේ සාමාජිකයා වෙත අනන්‍ය වූ ආහාර සැලසුමක් සාදා ගන්නේ නම්, ආහාර උද්ධමනය පහසුවෙන් පරාජය කළ හැක්කේය. ප්‍රෝටීන් බහුල ආහාර සඳහා අධික මිලක් වැය වන්නේය. ඒ සඳහා මාළු, කරවල, බිත්තර ආදිය ලබාගත යුත්තේ හෙයින් ඒ සඳහා වැය බරක් දැරීම අවුලක් නැත. ඒ හැරුණු විට අප කෘත්‍රිම ආහාර සඳහා දක්වන ගිජුභාවය සහ කෑම දුටුවන, කාගෙන කාගෙන යෑම නිසා ඇතිවන සෙතක් නැත. සමහරෙක් කෑම සොයා ගෙන යති. සාදයක් වැනි යමක් සඳහා යන්නේම හොඳට නෙළලා එන අදහසිනි. එහෙම නෙළීමට ගොස් තව වසර කිහිපයකින්, ලෙඩ ඇඳේ දපන්නට වෙන බව මේ අයගේ සිහියට එන්නේ නැත.
රාත්‍රී ආහාරය තවම පාලනය කරගෙන කෑමේ පුරුද්දක් මේ රටේ පිරිස් වෙත නැත. බඩ හිරවීමට කෑවේ නැතිනම් නින්ද යන්නේ නැතැයි කියමින්, ඩිනර් එක සඳහා බත් පිඟානක්ම ගිල දමන්නේය. නැතිනම් කොත්තු වැනි තෙල් සහ පිටි සහිත ආහාර කඩෙන් ගෙනත් බඩට දමා ගන්නේය. ඔය ආකාරයේ ආහාර රටාවක් සඳහා ඇති ඇබ්බැහිය කඩාගන්නේ නැතිව මේ සංසාරයේ නම් ආහාරයෙන් ලැබිය හැකි සෞඛ්‍ය සම්පන්නභාවය ලබාගත නොහැකිය. මේවා ආණ්ඩුවට හෝ සෞඛ්‍ය බලධාරීන්ට කළ හැකි දේ නොවේ. රාත්‍රී ආහාරය මාසයක් වර්ජනය කර ‘එහි ඇති සනීපය’ දැනගත් වන ඒ මිනිසා යළි රෑ කෑම පස්සේ පන්නන්නේ නැත. සෞඛ්‍යය අතින් මෙන්ම යහමින් නින්ද ලැබෙන්නේ ද රාත්‍රියේ කුස හිස්ව තිබෙන විටය. එහෙම කළේ නම් රටේම රාත්‍රී ආහාරය සඳහා යන වියදමෙන් විශාල කොටසක් ඉතිරිය. ඔය ආකාරයේ පුරුද්දක් මේ රටේ එක් එක් පුද්ගලයා හදාගෙන, සිය පවුල සඳහා ද ආහාර සැලසුමක් සෑදුවේ නම්, මේ රටේ කෑම කඩ ගාණටම විවෘත වෙන රෝහල් ගණනාව හැකිළෙනවා ඇත. බෙහෙත් සඳහා යන යෝධ බිල ඉතිරි වෙනවා ඇත. අද ලෝක නිරාහාර දිනය බැවින් මේ සිහිපත් කිරීම කරනුයේ, ගෙදරින් සැලසුමක් නිමවා රට ගොඩ නගමු යන පණිවිඩය මතක් කරදීමටය.