Monday, May 20, 2024
Home » අග්නි සන්නි යාගය සඳහා ගම සූදානම් කිරීම

අග්නි සන්නි යාගය සඳහා ගම සූදානම් කිරීම

by sachintha
May 9, 2024 1:00 am 0 comment

කයිරෝ ගින්න ඇවිළ යන්නේ 1952 ජනවාරි 26 වෙනිදාය. ගොඩනැඟිලි 750ක් පමණ ගිනි තබා පමණක් නොව කොල්ලකමින් සිදු කළ මෙම කැරලිකාරීත්වය කයිරෝ නගරය ක්ෂණිකව අපායක් බවට පත් විය. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වන්නේ ද එවැනි ගිනි තැබීමකි. අග්නි සන්නි යකු රටටම අරක් ගත්තා බඳු රාත්‍රියක් 2022 මැයි නවවෙනිදා දහවල් සිට රටේ ඇතිවන්නට විය. අග්නි සන්නි යකා වනාහි කොන්තායුධ දරමින් ගිනි සැර විහිදුවමින් ගමනේ යෙදෙන්නෙකි. හෙතෙම සියල්ල දවා හළු කරන්නේ හෙයින් යන එන පාර වුවද බේරාගත නොහැකිය. මේ ජාතියේ ගැන්සියක් මැයි නවවෙනිදා ප්‍රකෝප වන්නට පටන් ගත්තේය. ඇත්ත කතාව මේ පිරිස් ගෙවල්වලට පහරදීම ආරම්භ කරන්නේ මැයි නව වෙනිදාට පෙරය. ඒවන විටත් වෛරයේ ගිනි පුලිඟු රට වටා පත්තු කර සිටි පිරිසට, එය දල්වා ගැනීම සඳහා වූ මාතෘකාවක් මැයි නව වෙනිදා දහවල් වන විට හමුවන්නේය.

අග්නි සන්නි යාගය රට පුරා ඇවිළ ගියේය. බස් රථ ගිනි තබමින් ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් සඳහා මර්දනය කැඳවන ලද මේ පිරිස දැන් වුවද මීයට පිම්බා වගේ නැත්තේය. දැන් ඉව අල්ලන්නේ ඊළඟ මර්දන රැල්ල සඳහාය. හොඳම උදාහරණය කාල් ලාන්තගේ කතාවය.

මෙහෙම සමාජ වෛරයක් මාක්ස්වාදී ව්‍යාපාර හැමදාම පවත්වාගෙන යන්නේය. විප්ලවය නම් සිහිනය දැකීම සඳහා දේශපාලනයේ යෙදෙන සියලු පාර්ශ්ව දල්වාගත් සමාජ වෛරයක් පවත්වාගෙන යා යුතුය. තමන්ගේ නොහැකියාව නොව අනෙකා කෙරෙහි වෛරය ජනිත කරවන සඳ, ඒවා භාරගෙන ‘ගිනි පිඹීම’ පිණිසම වූ සමාජ වෛරය සහිත පිරිසක් මේ රටේ වෙසෙන්නාහ. ඔය වස්සෝ ටික කුලප්පු මූඩ් එකෙන් තබා ගැනීම සහ උන්ගේ කරේ තබා දේශපාලන බර ඇද ගැනීමට ජවිපෙ හැමදාම දක්ෂය. ඒ සඳහා වැඩි මහන්සියක් විය යුතු නැත. මැයි නවවෙනිදා රාත්‍රිය පහන් වන්නේ ඒ වෛරය ඉස්මත්තට පැමිණි විටය.

කාල් ලාන්ත, මැයි පළමුවෙනිදා වේදිකාවට නැඟ කෑ ගසන්නේ 2022 මැයි නවවෙනිදා ෆෝම් එක යළි ගමට ලබා දෙන්නටය. ගමේ ඉන්න පක්ෂයේ එකා ලවා මේ දින ටිකේ හොඳ බරක් අද්දාගත යුතුය. ඒ සඳහා දැන් තියාම පහළට ‘කාඩ බලාපොරොත්තු’ දිය යුත්තේය. කාල් ලාන්ත, කාල් මාක්ස්ගේ පන්ති වෛරය අතට ගන්නේ ඒ සඳහාය. තමන් වසර ගණනාවක් පන්ති වෛරය ලෙස වැපිරූ දේ, අස්වැන්න ලෙස මැයි නව වෙනිදා කපා ගත් ආකාරයට ඊළඟ මැතිවරණයෙන් පසු ද ඒ සඳහා ලයිසන් එකක් ලබාදීම කාල් ලාන්තගේ උපකල්පනය වන්නට ඇත. ඔය ටික කියූ ගමන් පැලවත්තේ කාර්යාලයට ගමේ ඉන්න සම්බුව දිය යුතු සෙට් එකේ, ලිස්ට් එක එන්නට ඇත. ඔහොම ආතල් මධ්‍යයේ දේශපාලනය කරගෙන යෑමට මේ ම්ලේච්ඡ යුගය නොවේ. ‘යුරෝපා රටවල පරිහානිය ප්‍රකට කළා වූ, ශිෂ්ටත්වයට වඩා ම්ලේච්ඡ ලක්ෂණ දූෂ්‍යමාන කළා වූ, බුද්ධි ප්‍රභවයට වඩා මූඪත්වය සහ මමත්වය හෙළි කළාවූ’ සමයක් ලෙස යුරෝපයේ අඳුරු යුගය හැඳින්වේ. එවන් යුගයක් සඳහා ප්‍රාරම්භයක් ලෙස මැයි නවවෙනිදා සිදු කළ නිවාස සහ ජන සංහාරය හැඳින්විය හැක්කේය.

මේ රටේ ජනතා නියෝජිතයන් වෙත යම් චෝදනාවක් ඇත්තේ නම් ඒ සඳහා අධිකරණයට යා හැකිය. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. ඖෂධ වංචාව සම්බන්ධයෙන් ඇසෙන නඩුව එවන් දූෂණ චෝදනා විෂයෙහි සිදු කරන නෛතික කාර්යයකි. එහෙම යුක්තිය පසිඳලීමට හැකියාව ඇති සමාජයක, ගෙවල් ගිනි තබන්නේ ‘තමන් නඩු විසඳා කැමති තීන්දුවක්’ ලබාදීමටය. ඒවා සපුරා දේශපාලන අපේක්ෂා ඇතිව ලබාදෙන තීන්දුය. මේ ආකාරයේ දේශපාලන පලිගැනීම් කමිටුවක් දමා, ජවිපෙ නායකයා අරලියගහ මැඳුරේ සිට නඩු විසඳූ කාලයක් තිබුණි. යහපාලන කාලයේ එහෙම අධිකරණ සඳහා නඩු පෝලිම් ගසමින්, විශේෂිත පොලිස් ඒකක ඇති කරමින්, වෙනම මහ අධිකරණ පිහිටුවමින් සිදු කළ නැටුමේ අවසානය සටහන් වූයේ, සියල්ලෝ එක පේළියට නිදොස් කර නිදහස් වීමෙනි.

තමන් හොරු හොරු කියා රට වටේ ගැසූ මන්ත්‍රය අතේ පැළවෙන බේගලයක් වූ විට, මේ පිරිස අත්හරින්නේ නැත. වෛරය පවත්වාගෙන යෑම සඳහා අලුත් මාදිලි තනවා දෙන්නේය. යමක් ඇති අය කෙරෙහි ද මේ පක්ෂ වෛරය දල්වා ඇති හෙයින් සමහර ප්‍රදේශවල ලොකු ලොකු හෝටල් සඳහා ද පහරදී ගිනි තැබීම් මැයි දහවෙනිදා එළිවෙන විට සිදු විය. ඒ කාලයේ හොඳ වාහනයක් වුවද පාරේ යන්නේ කුණු බැනුම් අසාගෙනය. එහෙම වාහනයක් තමන් දහදිය මහන්සියෙන් හම්බ කර, මිලට ගත්තේ වුවද ‘අර ප්‍රජාව’ ඒවා දිහා බලන්නේ ‘උන්ගේ දෙයක් සොරකම් කර’ අර මනුස්සයා වාහනයක් ගත්තා සේය. එහෙම වාහන ද එදා රාත්‍රියේ ගිනි තබා වනසා දැමුවේය. මේ රටේ අගමැතිවරයාගේ නිවස, ඇමැති, මැතිවරුන්ගේ ගෙවල් දොරවල් ගිනි තැබීම අහම්බයක් නොවේ. ඒවා සාමාන්‍ය ජනතාව ප්‍රකෝප වී සිදු කළ ඒවා ද නොවේ. ඒ සඳහා කල්තියා සකසන ලද යන්ත්‍රණයක් විය. ගෘහස්ථ ගෑස් සිලින්ඩරය ගෙන සාලය මැද්දේ අවුළුවා දැමීමේ පාඩම කල්තියා, සමහරු සිය පක්ෂ සාමජිකයන් වෙත උගන්වා තිබුණි.

වැසිකිළි කැසිකිළි හි කොමඩ් සෙට් එක ද මේ ‘සෙට් එකේ’ වෛරී භාණ්ඩයකි. ඒවා සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් කර දමා, තවත් ආශාවක් මේ පිරිස තෘප්ත කර ගත්තේය. දැන් ඉතිරි හරිය සඳහා සූදානම් වන කාලය ය. කාල් ලාන්තගේ මැයි දින පණිවිඩය ඒ සඳහා ගම සූදානම් කිරීමකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT