Monday, May 20, 2024
Home » දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි අපේක්ෂකයකුට සහාය දෙනවා – ඇමැති ඩග්ලස් දේවානන්දා

දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි අපේක්ෂකයකුට සහාය දෙනවා – ඇමැති ඩග්ලස් දේවානන්දා

by sachintha
May 9, 2024 1:01 am 0 comment

දමිළ බස කතා කරන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැව­ැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (6) නැඟෙනහිර පළාතේ සිදු කළ සංචාරයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

“ඇතැම් දේශපාලන පක්ෂ පවසන ‘පොදු අපේක්ෂකකම’ පුස් වෙඩිල්ලක්. දමිළ ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන අයට සහයෝගය දෙමින් ඉදිරියේදි කටයුතු කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතාත් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සියලු දෙනා සමඟ සාකච්ඡා කර දමිළ බස කතා කරන ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුමක් දෙන කෙනකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. දමිළ බස කතා කරන ජනතාවගේ ප්‍රශ්නවලට හොඳම විසඳුම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමයි. මේ බව මීට ඉහතදීත් මා පවසා තිබෙනවා. එය සමහර නායකයන් හමුවේ බීරන්ට වීණා වැයීමක් වුණා. එය නොසලකා හරිමින් කටයුතු කොට දැන් සමහරු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව පවසනවා. 13 වන සංශෝධනයට විටක විරුද්ධ වීමත් ඇතැම් විටකදී සහාය දැක්වීමත් පිළිගත නොහැකි කරුණක්. ඒ වගේම මෙරට දමිළ දේශපාලන පක්ෂ දමිළ ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන ක්‍රියා නොකිරීම හේතුවෙන් ඒ ජනතාව නොයෙකුත් ගැටලුවලට මුහුණ පා සිටිනවා. ඒ නිසා ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග ගැනීම දමිළ බස කතා කරන ජනතාවගේ යහපතට හේතු ‍ෙවනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT