Monday, May 20, 2024
Home » කෘෂිකර්මාන්තය දියුණු නොකර ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ

කෘෂිකර්මාන්තය දියුණු නොකර ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ

-නව ග්‍රාම නිලධාරි පත්වීම් ප්‍රදානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

by sachintha
May 9, 2024 1:01 am 0 comment

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කරගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැප වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2,100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ඊයේ (8) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මස 2 දා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2,100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:

“අද ග්‍රාම නිලධාරීන් ලෙස පත්වීම් ලබන ඔබ සියලු දෙනාට මම සුබ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජීවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා. වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කරගනිමිනුයි. පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට අපට හැකි වුණා. ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මේ දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සමඟ අද ග්‍රාම නිලධාරි සේවයට 2,100ක් බඳවාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට අපට අවස්ථාව ලැබුණා. පරිපාලන කටයුතු පමණක් නොවෙයි, ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළේ වගකීමත් ඔබට පැවරෙනවා.

“විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු අංශ 4ක් මෙහිදී පෙන්වා දීමට මා කැමතියි. අඩු ආදායම් ලාභී ජනතාව නඟාසිටුවීම වෙනුවෙන් රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධිය මෙන් තුන් ගුණයක් වැඩි කර එම දීමනාව පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු පරිගණකගත කිරීම මේ වසර අවසන් වන විට නිමා කළ යුතුයි. එවිට ලබන වසරේ සිට මේ වැඩසටහන මීට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වනවා. ඒ අනුව අස්වැසුම මඟින් ගමට දෙන සහන ප්‍රමාණය වැඩි වී තිබෙනවා වගේම ප්‍රතිලාභීන් ප්‍රමාණය ඉහළ නැංවිමට අප තීරණය කර තිබෙනවා.

“ඒ වගේම මේ ජනතාවගේ ආදායම් මාර්ගද ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි. එම ආදායම්ද ගමේ ආර්ථිකයට එක් වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට පසුගිය අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් පිරිනැමීම ආරම්භ කළා. එමඟින් මේ ජනතාවට තවත් සහනයක් ලැබෙනවා වගේම මෙම සහල් මිලදී ගනු ලැබුවේ කුඩා මෝල් හිමියන්ගෙන් බැවින් ඔවුන්ටද යම් සහනයක් ලැබී තිබෙනවා. මේ මුදල් සියල්ල හුවමාරු වන්නේ ගම තුළයි. ගම දියුණු කිරීමට නම් මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි.

“ඒ වගේම ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය පිරිනැමීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. මේ ඉඩම් අයිතිය සමඟ ඔවුන්ගේ ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වනවා. මෙහි ප්‍රතිලාභය හිමි වන්නේද ගමටයි. එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් වනවා. අතීතයේ රජ රට ප්‍රදේශයේ කාෂිකර්මන්තයෙන් සශ්‍රීකව පැවතුණා. දඹදෙණියේ සිට මහනුවර දක්වා තෙත් කලාපයේ කුරුඳු ඇතුළු කුළු බඩු වගා කෙරුණු අතර එහි අපනයන ආර්ථිකයක් පැවතුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, රබර්, පොල් අපනයනය කළා.

“නැවත රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නවීකරණ කමිටු පත් කර ගොවීන් ඒකරාශී කර ගනිමින් පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ගමේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක් මේ සඳහා හඳුනාගෙන තිබෙන අතර මිලියන 25 බැගින් ලබා දී තිබෙනවා. ඉදිරි වසර වන විට මේ සඳහා යොදා ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 100ක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ගමේ කෘෂිකර්මය දියුණු නොකොට ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. එසේ නම් කෘෂි නවීකරණ වැඩසටහන සමඟ අප ඉදිරියට යා යුතුයි. දකුණේ ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය නිසා දියුණු වී තිබෙනවා. මේ සියලු වැඩසටහන්වල අරමුණ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි.

“ඒ වගේම ග්‍රාමීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. ඒ සඳහාද ඔබගේ සහභාගිත්වය අවශ්‍යයි. උරුමය වැඩසටහනට අදාළ ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීමට අගමැතිතුමාද සමඟ සාකච්ඡා කර අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ මේ ඉඩම් ඔප්පු සියල්ල ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් ඔබ සියලු දෙනාද මේ කටයුතු සඳහා සම්බන්ධ විය යුතුයි.”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පළාත් සභා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් දි එයාෆෝස් රොෂාන් ගුණතිලක මහත්වරුද අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. නන්දසේන යන මහත්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT