Home » වෙඩි කෑමට පඩිය කීයද ?

වෙඩි කෑමට පඩිය කීයද ?

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කොංගෝ ජනරජයෙන්, කටන්ගා ප්‍රාන්තය වෙන් කරනු ලබන්නේ ඛනිජ සම්පත නිසාය. කටන්ගා වනාහි කොංගෝවේ, ඛනිජ සම්පතෙන් පොහොසත්ම ප්‍රාන්තයය. 1960 වසරේදී කොංගෝව බෙල්ජියමෙන් නිදහස ලැබුවේය. ලැබුණු ‘තෑග්ග’ සඳහා කොංගෝ නායකයෝ කුළල් කන්නට පටන් ගත්හ. ජෝසෆ් කසවබු, පැට්රිස් ලුමුම්බා සහ කටන්ගා ප්‍රාන්ත ප්‍රධානි මොයී ෂොම්බේ මේ බලඅරගලයේ කොටස්කරුවෝ වූහ. බලගැටුමේදී බෙල්ජියමේ සහය හිමිවූයේ කටන්ගා ප්‍රාන්තයටය. බෙල්ජියම සිය පැරණි යටත් විජිතය අතහැර සිටියද එහි ඛනිජ සම්පත සඳහා තදින්ම ප්‍රේම කළේය. කටන්ගා ප්‍රාන්තය වෙන්ව යෑම සඳහා කටයුතු කරන විට කොංගෝ මහජන හමුදාව, කටන්ගාව ආක්‍රමණය කළේය. කටන්ගා ප්‍රාන්තයට ගිනි පත්තු වෙන්නේ මෙම ආක්‍රමණය සමඟය. තමන්ටම කියා එහෙමට හමුදාවක් නැති හෙයින් ‘දැන් ඉතිං වෙන කුමක් කරන්න ද…’ කියා සිතමින් ප්‍රාන්ත ප්‍රධානි මොයී ෂොම්බේ කටන්ගා හමුදාව සඳහා, සුදු ජාතික කුලී හේවායන් බඳවා ගත්තේය. මෙම කුලී සේනාංකය සඳහා පැමිණි අයර්ලන්ත ජාතික ‘ක්‍රේසි’ මයික්, බොබ්, ඩෙනාඩ් ආදී කුලී හේවායන්ගේ කතාව පසු කලෙක ලෝකයේ ප්‍රසිද්ධ වන්නාහ. කොංගෝව සහ කටන්ගාව අතර සිදුවූ මෙම යුද්ධය ඇසුරින් දකුණු අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් ‘සැඩ හිරු’ නම් නවකතාවක් ලියා පළ කළේය. එය පසුකලෙක සිනමාවට ද නැඟුණේය.

මෑතභාගයේ කුලී හේවායෝ ගැන ලෝකය දැන ගන්නේ මෙම චිත්‍රපටය ඔස්සේය.

යුද වැදීම සිද්ධ වන්නේ උත්තුංග පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහාය. සිය මාතෘ භුමිය වෙනුවෙන් ජීවිතය කැප කර රණබිමේ අවසන් හුස්ම මුදා හැරීම ද සැපතක් යැයි කියමින් විරු දරුවෝ රණ බිම් වැදුණාහ. තම උරුමය මුල් කරගත් යමක් වෙනුවෙන් යුද වැදීම සාමාන්‍ය සිරිතක් වුවත් අනුන්ගේ උරුමයක් වෙනුවෙන් ‘කුලී සේවය’ හමුදාවට සැපයීම ද පැරණිම වෘත්තියකි. කුලී හේවායෝ සටන් වදින්නේ උත්තුංග පරමාර්ථ පෙරදැරිව නොවේ. ගතමනාව සරි කරගැනීම සඳහාය.

මේ රටේ හමුදාවේ සිටින අයවලුන් වෙත විදේශ විනිමය ගෙන එන ආදායමක් ලැබෙන්නට පටන් ගත්තේ එක්සත් ජාතීන්ගේ හමුදා සේවය සඳහා චාන්ස් එක වදින කල්හිය. මෙම සේවය සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර නෛතික ගිවිසුමක් ඇත්තේ හෙයින්, එක්සත් ජාතීන්ගේ පාර්ශ්වය වෙනුවෙන් අපිදු නොදන්නා දේශයන්හි සාම ක්‍රියාදාමයන් වෙත දායක වීමු. එය හමුදාවේ පිරිස් සඳහා යහමින් මුදලක් ලැබුණු අවස්ථාවකි. මේ නිසා තමන්ට ද ‘යූ.එන්. සේවය’ සඳහා අවස්ථාවක් ලැබේවි යැයි ඒ කාලයේ ශ්‍රී ලංකා හමුදාවේ බොහෝ දෙනා අපේක්ෂා කළහ.

හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිස් වෙත මේ ජාතියේ අවස්ථාවක් උදාවන්නේ රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම නිසාය. වැඩේ හිතුවාට වඩා දික් ගැස්සුණු හෙයින්, ‘අල්ලාගෙන සිටීම’ සඳහා අමතර භට පිරිස් දෙපාර්ශ්වයටම අවශ්‍ය විය. අවි පුහුණුව ලබාදීමට කාලයක් නැති හෙයින් ඉඳුරාම කුලී හේවායන් බඳවා ගැනීමට දෙපාර්ශ්වයම තීරණය කළේය. මේ සඳහා ලෝකය හැම තැනටම මෑන් පවර් ක්‍රමයට ‘බඩු’ සප්ලයි කරන ලෙස ඕඩර් ලැබෙන්නේය. ශ්‍රී ලංකාවේ ද මේ සඳහා පිරිස් සැපයීමට ඒජන්සි කිහිපයක් පෙරට එන්නේය. හමුදා සේවය නිමාකර වැලේ වැල් නැතිව ගෙදරට වී සිටින හෝ පොඩි පහේ රස්සාවක් සිදු කරන ‘හිටපු සෙබළ තෙමේ’ වෙත මේ ආරංචිය ලැබුණු සැණින් සිතට එන්නේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යුද හමුදාව සහභාගි වෙන අන්දමය. සටන් බිමේ ‘ඉදිරි වළල්ලට’ මෙවැනි පිරිස් යොමු නොකරන හෙයින් කඳවුරුගත ජීවිතයක් ගෙවා ගෙන කාලය හමාර වූ විට දැනෙන ගාණක් සාක්කුවේ දමාගෙන, සිය රට බලා ඒමේ අපේක්ෂාවෙන්, හිටපු හමුදා සාමාජිකයෝ මේ සඳහා ඇප්ලයි කරන්නට පටන් ගත්හ. මේ රටේ විදේශ රැකියා සැපයීමේ ව්‍යාපාරය එදා සිටම හොර ගුහාවකි. විදේශ රැකියා ඒජන්සි බොහොමයක් ‘මිනිස් ජාවාරමේ’ කොටස්කරුවෝ වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ තම ගාණ ලබා ගැනීම සඳහා කොහේට හෝ පණ ගැහෙන ‘මිනිස් දේහ’ අපනයනය කිරීමය. මේවා කොමඩු, පැපොල් අපනයනයට සමාන විය. ගන්න එකා කනවා ද, ජූස් හදනවා ද, යන්න අපට වැදගත් නැත. ගෙඩි ටික පැක් කර ‘පටවා’ ගාණ අතට ගත් කල වැඩේ නිමියැ.

ඒ ආකාරයට මිනිස් සේනාව යුද්ධය සඳහා හෝ ගෘහ සේවය සඳහා යැවීම මේ රටේ ඒජන්සිකාරයන්ගේ කටයුත්තය. කුලී හේවායන් ලෙස යුක්රේනය සහ රුසියාව තවත් රටවලින් පිරිස් ගෙන්වා ගනිති. ඒ සඳහා ගුවන් වියදම් එම පාර්ශ්වය ලබා දෙන්නේය. යුද බිමේ ඉදිරි කටයුතු සඳහා එම අය යොදවන්නේ නැති බවට ගිවිසුම් අත්සන් කර තිබේ. අපේ ඒජන්සිකාරයන් හට එහෙම වුවමනාවන් නැත. යුද බිමේ ඉදිරියට නොව පුහුණු වෙන සොල්දාදුවන්ගේ ඉලක්ක සඳහා මේ අය පාවිච්චි කළ ද ඒජන්සිකාරයට කම් නැත. ඒ පාර්ශ්වයෙන් ලබාදෙන ගුවන් ගාස්තු ද ඒජන්සිකාරයා සාක්කුවේ දමා ගන්නේය. ටිකට් සඳහා වියදම යන එකා ගෙවිය යුතුය. ඒජන්සි ගාස්තුවක් ද ඇත්තේය. මේ ආකාරයට ශ්‍රී ලාංකිකයෝ පන්සියයකට ආසන්න පිරිසක් දැන් යුක්රේන් – රුසියා යුද බිමේ රැඳී සිටින්නාහ. සමහරු ඒ බිමේදීම මිය ගොස් ඇත. ගෙදර පිරිස තවම ඒ වග දන්නේ නැත. සමහරෙක් වෙඩි වැදී ඔත්පලව සිටින්නාහ.

මේ මහා මිනිස් ජාවාරම පිළිබඳව අපගේ සහෝදර සිළුමිණ පුවත්පත දැන් මාසයකට පමණ පෙර සුවිශාල අනාවරණයක් සිදු කළේය. පෙරේදා මහ රෑ යාමේ මේ සඳහා වගකිවයුතු යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තේය. රුසියානු – යුක්රේන් යුද්ධය අස්සේ ද බාල්දි පෙරළෙන්නේ අපටය. එය මේ රටේ ස්වභාවයය. කොහේ හෝ යන කෙළියක කොනක අප ද සිටින්නේය. මේ සපුරාම මිනිස් ජාවාරමකි. කොනක සිට මේ ගැන සොයා බලා යළි මේ රටේ මිනිස් ජීවිත ජාවාරමක් කර නොගන්නා තැන දක්වා අප විමසිල්ලෙන් සිටිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT