Home » සත්‍යම් ශිවම් සුන්දරම්…

සත්‍යම් ශිවම් සුන්දරම්…

by mahesh
May 3, 2024 1:00 am 0 comment

මාධ්‍ය නිදහස වූ කලි හොඳට සෙල්ලම් කළ හැකි භාණ්ඩයකි. ආණ්ඩුවකට ‘මර්දනය’ නම් මඩේ ගැසීමට වුවමනා වූ කල මාධ්‍ය නිදහස ඒ පැත්තට වයින් තබා කරකවා යැවිය හැකිය. අනෙක් පැත්තට රට සවාරියක් විදේශ පදිංචියක්, එතෙර ශිෂ්‍යත්වයක් ආදිය සඳහා මාධ්‍ය නිදහස හොඳට පාවිච්චි කළ හැක්කේය. ‘මාධ්‍ය සඳහා නිදහස’ යන මාතෘකාවට, මෙලෝ නිදහසක් නැත්තේ අවස්ථාවාදීන් අත. ඒ මාතෘකාව ද නිතර නිතර කිලිටිව ගොස් ඇත්තේ හෙයිනි. අද ලෝක නිදහස් මාධ්‍ය දිනය ය. පුවත්පත් විෂයය සම්බන්ධයෙන් එංගලන්තයේ නීතිය ටියුඩර්වරුන්ගේ කාලයේ සිටම තිබුණේ පාලිත තත්ත්වයකය. එය නිවහල් කර ගැනීම උදෙසා වුවමනාවක් හෝ න්‍යායක් නොතිබුණේ හෙයින් මාධ්‍ය යනු ආණ්ඩුවේ තුලිතභාවය සමඟ ගමන් කළ යුත්තක් බවට සම්මතයක් තිබිණි. ජෝන් මිල්ටන් වැනි දාර්ශනිකයෝ, ඒ සඳහා වන න්‍යාය සකස් කරන ලද්දෝය. පුද්ගල සහ සමාජ නිදහස යන්න තහවුරු කරමින් පවත්වන ලද දාර්ශනික සංවාද මාධ්‍ය වෙත ද කාන්දු වෙමින් මාධ්‍ය නිදහස උපන්නේය.

මිල්ටන් ප්‍රධාන ලෙස තර්ක කරන ලද්දේ මුද්‍රණ බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙනි. මුද්‍රණය සඳහා ලයිසන් ගැනීම නීතියක් වූ විට ඒ සඳහා වන රාමුවක් සැකසෙන්නේය. මෙම රාමුව යනු මුද්‍රණය සඳහා වන සැකසුමේ අන්තර්ගතය සඳහා වන බාධකයක් ලෙස මිල්ටන් හඳුනා ගන්නේය. ඒ නිසා ලයිසන් නම් බැරියරය ‘මුද්‍රණය’ සඳහා අනවශ්‍ය බැව් හෙතෙම තර්ක කළේය. අනෙක වාරණය ය.

අද නම් මාධ්‍ය සඳහා මුද්‍රණයේදී එහෙම බැරියර් නැත. එහෙත් තම තම නැණ පමණ සමහරෙක් මාධ්‍ය වෙත වාරණ නොදමනවා නොවේ. ඒවා බොහෝ තැන්හි පුද්ගලානුබද්ධය. මතවාද සහ පුවත් වනාහි අද වන් සමාජයක වාරණය සඳහා ලක් කළ නොහැක්කේය. තම වැරදි හෝ අතපසු, වීම් ඒ ආකාරයට බලහත්කාරයෙන් වසා ගැනීමට යත්න දරන කල්හි, සිය ඇඳිවත ලිහී යන වග නොතේරුම් ගත් දනෝ, තවම වෙත්. මේවා මඟින් ජනිත වන්නේ අප්‍රසාදයමය. වාරණය වනාහි ඝාතනයක් බව ජෝන් මිල්ටන්ගේ අදහස විය. සත්‍යය සඳහා පිහියෙන් ඇනීම හෝ වෙඩි තැබීමක් ලෙස වාරණය සදහන් කරන ලද සමාජ කාලය අප නිමවා ඇතත්, සමහරෙක් තවම ජීවත් වන්නේ වැඩවසම් යුගයේ බැවින් වාරණය සඳහා කැමැත්තෝය.

සත්‍යය ජය ගනු ඇත්තේ ස්වයංක්‍රියව නොවේ. ‘සත්‍යම් ශිවම් සුන්දරම්’ යැයි කියුවද බොහෝ විට සත්‍යය අමිහිරිය. ඒ නිසා එය යටපත් කිරීමට වලිකන ප්‍රජාවක් තවම සිටින්නේය. ඒ නිසා සත්‍යය ජය ගනු ඇත්තේ ඒ මත බලයක් යොදන විටය. මේ බලය වූ කලි මාධ්‍ය නිදහසය.

1945 යුනෙස්කෝ ව්‍යවස්ථාව, 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යන ප්‍රධාන කතිකාවත් දෙකම මාධ්‍ය නිදහස සඳහා පුළුල් අර්ථකථන සපයා දී තිබියදී මාධ්‍යවේදය සඳහා තවමත් සමාජ බාධක නැත්තේ නොවේ.

1991දී යුනෙස්කෝවේ මහා සම්මේලනයේ නිර්දේශයෙන් පසුව, 1993දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම මැයි 3 වැනි දින නිදහස් මාධ්‍ය දිනය ලෙස ස්ථාපනය කළේය. ඔහොම දින දුන් පලියට වැඩේ වෙනවා නම්, මේ සිරිතුන්ලන්තය, දැන් කේතුමතිය ය. ඒවා දවසේ සීන්ය. පහුවදාට අර වැඩපිළිවෙළම දිගටම යන්නේය. එසේ වුවත් වසරකට වරක් හෝ අවර ගති සහිත ප්‍රජාවගේ ඇස ඇරවනු පිණිස මෙහෙම දිනයක් වටිනේය. මේ කාලයේ ආණ්ඩු නම් මාධ්‍ය සඳහා එහෙම දමනකාරී පිළිවෙත් අනුගමනය කරන්නේ නැත. ඒ වෙනුවට පුවත විෂයයේ ප්‍රතිචාර දක්වන දියුණු මට්ටම දක්වා ආණ්ඩු පැමිණ තිබේ. මේ රටේ සමස්ත දේශපාලන පක්ෂමැ එම ආස්ථානයේ සිටගෙන ඇත්තේ හෙයින් දැන් බාධා එන්නේ පුද්ගලානුසාරි ලෙස පමණය.

එසේ වන අතරේ අප අද සමරන ලෝක නිදහස් මාධ්‍ය දිනයේ මාතෘකාව වී ඇත්තේ ‘විශ්වය සඳහා මාධ්‍යයක්: පාරිසරික අර්බුදය හමුවේ මාධ්‍යවේදය’යන්නය. මහජනතාවට සෑම විටම සියලු ආකාරයේ තොරතුරු සඳහා ප්‍රවේශය තිබිය යුතු බවත්, මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කාර්යය කිරීමට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය සඳහා රජය සහාය විය යුතු බවත් මෙම වසරේදී යුනෙස්කෝව නැවත අවධාරණය කරන්නේය.

එවන් උත්තුංග තේමාවකින් මෙවර නිදහස් මාධ්‍ය දිනය සරසවා ඇත්තේ, මේ මිහිතලය සඳහා ඇති දරුණුම අභියෝගය පාරිසරික මට්ටම දක්වා පැමිණ ඇත්තේ හෙයිනි. දේශපාලන බලය අතට ගත් සමහරෙක් මේ රටේ රක්ෂිත වනාන්තර පිට්ටනි බවට පත් කරන්නේය. පසුව ඒවා මත්තේ සුවදායී යන විශේෂණය සහිත හෝටල් ඉදි කරන්නේය. පරිසරය වනසා දැමූ කල මිහිතලයෙන්ම සුවදායී බව පලා යන බව අර ‘පැටි වසු’ තෙමේ තේරුම් නොගන්නේය.

මාධ්‍ය යනු නිදහස ඉල්ලා හඬා වැටි වැටී සිඟමනේ යන කල්ලියක් නොවේ. ලැබෙන සෑම ඉඩක්ම සිය කාර්යය සඳහා යොදා ගන්නා අවකාශයකි. සිරගත කළ වූවේද මාධ්‍ය එම ඉඩ ප්‍රස්තාව ද සිය මෙහෙවර සඳහා යොදා ගැනීමේ දක්ෂතාවයෙන් යුක්තය.

අද අපගේ දිනයක් හෙයින්, පාරම් බා පමණක් දවස ගෙවා දැමීමට මේ තීරුව කල්පනා කරන්නේ නැත. තෑග්ගක් සේ හොඳින් අසුරා, මල් බඳුනක් සමඟ ‘මාධ්‍ය නිදහස’ පත්තර කන්තෝරුවේ මැද මිදුලට ඒ යැයි අපේක්ෂාවක් අපට නැත. එය හැම කල්හිම සටනකි. ඒ සටන සඳහා අද පමණක් නොව ලැබෙන හැම දිනයක්ම යොදා ගනිමු යන්න අපේ අදිටනය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT