Tuesday, May 14, 2024
Home » ජනාධිපති කාර්යාලයීය සේවක සුබසාධක සංගමය සංවිධානය කළ වසත් සිරිය-2024 අලුත් අවුරුදු උත්සවයෙන්…

ජනාධිපති කාර්යාලයීය සේවක සුබසාධක සංගමය සංවිධානය කළ වසත් සිරිය-2024 අලුත් අවුරුදු උත්සවයෙන්…

by sachintha
April 29, 2024 1:01 am 0 comment

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය පෙරේදා (27) කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේදී ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබසාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි. රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර කැවිලි පෙවිලි, ඇඳුම් පැලඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත් කර තිබිණි. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් විය. මෙම අවස්ථාවන් සඳහා විදෙස් තානාපතිවරුන්, තානාපති කාර්යාලවල නිලධාරීන් සහ විදෙස් සංචාරකයන් ද මහත් උනන්දුවෙන් එක්ව සිටි අතර ඔවුන් වෙනුවෙන් ද තරග ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

වැඩිහිටි ජනතාව සහ කුඩා ළමයින් ද දැඩි උනන්දුවකින් යුතුව තරග ඉසව් සඳහා එක්ව සිටි අතර ජයග්‍රහණය කළ සෑම අයකුටම තිළිණ ලබා දීම සිදු විය.

අවුරුදු උලෙළ පැවති භූමිය වෙත අද දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සංචාරය කරමින් පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර තරග ඉසව් කිහිපයක් නැරඹීමට ද එක් විය. එමෙන්ම ගැමි ගෙදර සහ වෙද ගෙදර වෙත පැමිණ ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි අසිරිය විඳ ගැනීමට එක්ව සිටි විදේශිකයන්ගේ ද තොරතුරු විමසමින් ඔවුන් සමඟ ද සුහද කතාබහක යෙදිනි.

පොල් අතු විවීම රාජ්‍ය අංශය, වාසනා මුට්ටිය බිඳීම රාජ්‍ය අංශය (කාන්තා – වැඩිහිටි), පොල් ගෑමේ රාජ්‍ය අංශය (කාන්තා – වැඩිහිටි) යන තරග ඉසව්වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි. වසත් සිරිය 2024 මැරතන් ධාවන තරගයේ (පිරිමි) පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ජී. දිලුම් මදුශංක විසින් දිනාගත් අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ ආර්.ඒ.ඩී. හේමන්ත කුමාර සහ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ කේ. සමුගේශ්වරන් දිනා ගත්හ.

වසත් සිරිය 2024 මැරතන් ධාවන තරගයේ (කාන්තා) පළමු ස්ථානය යුද හමුදාවේ ඩබ්.ඒ.එම්.ආර්. විජේසූරිය දිනාගත් අතර දෙවැනි ස්ථානය යුද හමුදාවේ එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්.එම්. හේරත් සහ තෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ කේ.එස්. ඩිල්ෂානි දිනා ගත්හ.

වසත් සිරිය 2024 ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය ලහිරු මදුශංක, දෙවැනි ස්ථානය නිදුෂ් නිරන්ත සහ තෙවැනි ස්ථානය සචින් මදුවන්ත විසින් දිනා ගනු ලැබීය.

වසත් සිරිය 2024 ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (කාන්තා) පළමු ස්ථානය දිනේෂා දිල්රුක්ෂි, දෙවැනි ස්ථානය ඩබ්.ඒ.ඒ. සඳමිණි සහ තෙවැනි ස්ථානය සුධාරිකා ප්‍රියදර්ශනී විසින් දිනා ගත්හ.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරිය ලෙස අනුරාධපුර, මරදන්කඩවල සිට පැමිණි මාධවී ප්‍රාර්ථනා ජයලත් අභිෂේක ලැබූ අතර දෙවැනි ස්ථානය කුරුණෑගල සිට පැමිණි කේ.පී. අයේෂා ජයසුන්දරත් තෙවැනි ස්ථානය පන්නිපිටිය සිට පැමිණි ප්‍රභානි එදිරිසිංහත් විසින් දිනා ගනු ලැබීය.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ එච්.ඩී. මියුරංගයි. දෙවැනි ස්ථානය එච්.ඒ. කෞශාන් සසංක සහ තෙවැනි ස්ථානය හලාවත සිට පැමිණි ඒ.එම්. හිරුෂ සංදීප විසින් දිනා ගනු ලැබීය.

අවුරුදු කුමරා සහ කුමරිය වෙනුවෙන් මුදලින් රුපියල් 100,000 බැගින් සහ රන් ආභරණ ත්‍යාග වශයෙන් හිමි විය. දෙවැනි ස්ථානය සඳහා රුපියල් 75,000ක මුදල් තිළිණයක් සහ සැනසිලි තෑගි ද තුන්වැනි ස්ථානය සඳහා රුපියල් 50,000ක මුදලක් සහ සැනසිලි ත්‍යාග ද පිරිනැමිණි. අවසන් වටයට තේරි පත් වූ අවුරුදු කුමර කුමරියන් වෙනුවෙන් සැනසිලි ත්‍යාග සහ සහතික පත් ද ලබා දීම සිදු විය.

තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුන් සහ අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීහු සහ නියෝජිතයන් ද ඊට එක් වූහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT