Sunday, May 5, 2024
Home » රට බකල් කිරීමේ පොත

රට බකල් කිරීමේ පොත

by sachintha
April 26, 2024 1:08 am 0 comment

ජීවිතය ජය ගන්නා මඟ, කෝටිපතියෙක් වීමේ මඟ ආදී ලෙස, සෑම විෂයක් සඳහාම ‘මඟ’ නම් වූ පොත් ඇත්තේය. මේ රට ගිනි තැබීමේ මඟ සහ ඉන් පසු එහි යාවත්කාලීන වූ ‘පොත’ ගෙවල් ගිනි තැබීමේ මඟ යන ග්‍රන්ථහි රචකයා වන්නේ ජවිපෙ ය. ජවිපෙ වනාහි ද මේ රටේ ඇති වයෝවෘද්ධ පක්ෂයකි. මහල්ලන්ගේ පක්ෂ ලෙස අනෙකුත් දේශපාලන ව්‍යාපාර හඳුන්වා දෙන ජවිපෙ ආරම්භ වන්නේ 1965 වසරේය. දේශපාලනයේ පැහැදිලි ජයක් කොතැනකදීවත් ලබා ගැනීමට නොහැකිවූ මෙම ව්‍යාපාරය සෑම කල්හිම රඳා පවතින්නේ සංවර්ධන විරෝධය අතට ගෙනය. විරෝධය යනු ජනයා ප්‍රිය මාතෘකාවක් බවට මේ ව්‍යාපාරය පත් කරන්නේ සුළු පැළුම් දිගින් දිගටම රැගෙන යමිනි. මේ රටේ දේශපාලන සංස්ථාව සංවර්ධනය සඳහා කල්තියා හඳුනාගත් වැඩපිළිවෙළ සෑහෙන ප්‍රමාණයක් දියත් කළේය. ඒ සඳහා ඔවුන් ඉලක්ක ගතව හැසිරුණේය. හොඳම උදාහරණය උමා ඔය ය. පනහේ දශකයේ සිට උමා ඔය සඳහා වන යෝජනා රටේ ඇතිවිය. ඒවා ක්‍රියාත්මකභාවය සඳහා අතතැබූ විගස ජවිපෙ එළියට එන්නේය. ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ අත්‍යවශ්‍ය බව කියන්නේය. ඒ වුණාට ව්‍යපෘතිය අවුල් බවට දොඩවන්නේය. විකල්ප ද නැත්තේය. ඇත්තේ නම්, ඒවා කළ නොහැකි ආකාරයේ දේය. උමා ඔය සංවර්ධනයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට ජලය ලැබෙන්නේය. එම පළාත්හි ජනයා වගාව මතු නොව තිබහ සරි කරගැනීම සඳහා ජලය නොමැතිව තැවෙන්නේය.

උමා ඔය සඳහා විරෝධය දක්වන විට මොනරාගල ජනයාගේ ජල ගැටලුව මතු වන්නේය. ඒ සඳහා බැලන්සින් පාරක් දෙමින් ජවිපෙ පවසන්නේ, මොනරාගල ජනයාගේ ජල ප්‍රශ්නය සඳහා විසඳුමක් දිය යුත්තේ වුවත්, උමා ඔය උමඟ ඒ සඳහා විසඳුමක් නොවන බවය. යම් හෙයකින් උමඟ නැතිව ව්‍යාපෘතිය පටන් ගත්තේ නම් ඒ සඳහා ද වෙනත් සාධකයක් දෙකක් අල්ලාගෙන විරෝධය මතු කරන්නේය. සිය ව්‍යාපාරය සඳහා දේශපාලන බලය අත්පත් කර ගත නොහී බව ජවිපෙ දන්නේය. ඒ සඳහා ඔවුනගේ තේරීම වී ඇත්තේ කරන එකාට ද කිරීමට නොදීමය. මේ තරම් කාලයක් ඔය දේශපාලන මහලු මඩම ‘ෆන්සන්’ වූයේ අලුත් අලුත් ක්‍රම විරෝධ අතට ගැනීම හේතුවෙනි.

මේ ක්‍රම විරෝධයේ අරමුණ ඡන්දයෙන් බලයට ඒමට තමනට කිසිදා නොහැක්කේ බැවින් රට බිමට පහත් කර එම අසහනය අතට ගෙන කැරැල්ලක් මඟින් බලය ගැනීමය. ඒ සඳහා ජවිපෙ ලියා ඇති පොත වන්නේ ‘රටේ ගිනි තැබීමේ මඟ’ යන්නය. එහි පෙරවදනේ සපුරා ඇත්තේ සංවර්ධනය කඩා කප්පල් කිරීම ය. ඒ සඳහා පවතින ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට දිගින් දිගටම පහර ගැසිය යුතුය. මහජන නියෝජිතයන් පිළිබඳව විශ්වාසය අඩමාන වූ කල, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙන්නේය. එහෙව් කල මෙම ප්‍රවාහයට ‘යටින් උමඟ’ හාරා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේය. දේශීය ආදායම පහළට වැටුණු කල්හි ජනතාවගේ ජීවිත බිමට වැටෙන්නේය. එකල්හි වැඩේ ගොඩය. අසහනය අතට ගෙන ජනයාගේ මනස ඇතුළට ජවිපෙ රිංගන්නේ ඒ අතරේය. තමන් කඩාකප්පල් කළ දේ නිසා එසේ වෙන බව ජවිපෙ දන්නේය. ජනයාගේ ඔළුවට රිංග වන්නේ පාලකයෝ හොරා කෑ නිසා රට බංකොලොත් බවය.

උමා ඔය ව්‍යාපෘතිය යනු තනිකරම මේ රටේ දේශපාලනය වෙනස් කළ කතාවකි. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අගභාගය වන විට, ලෝකයේ සියලු නම ගිය, ධනවාදී රටවල් සිටියේ අපට එරෙහි පිලේය. අහමදි නෙජාඩ් ඉරාන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සම්බන්ධය මත ඉරානය සහ ශ්‍රී ලංකාව මේ රටේ අලුත් කතාවක් ලියන්නට පටන් ගත්තේය.

මූල්‍ය අරමුදල ණය වාරිකය ප්‍රමාද කරන කල්හි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉරානය බලා ගොස් හදිසි ආධාරයක් ලෙස ඩොලර් බිලියන එකහමාරක ණය මුදලක් ලබා ගත්තේය. එවන් පරිණත නායකයා ජවිපෙ විසින් නාකි මයිනා බවට පත් කළේය. මේ සමඟ ප්‍රමාද කරමින් තිබූ මූල්‍ය අරමුදලේ ණය ආධාරය ලැබෙන්නට විය. ප්‍රභාකරන් වෙල්ලිමුල්ලි වයික්කාල් භූමියේ දී වෙඩි කන්නේ මෙවන් උපාය මාර්ග සමඟය.

ඒ සමඟම අපට උමා ඔය ව්‍යාපෘතිය සඳහා ද ඉරාන ආධාර හිමි විය.

පෙරේදා ජනාධිපතිවරු දෙදෙනා විවෘත කළ, උමා ඔය ජල විදුලි නිෂ්පාදනය මෙගා වොට් 120කි. ජාතික විදුලි පද්ධතියට මේ තරම් ජල විදුලියක් එකතුවෙනවා කියන්නේ තෙල් සඳහා අප ගෙවන බිල අඩුවෙනවා යන්නය. දිනකට විදුලි නිෂ්පාදනය වෙනුවෙන් දරන ලද ඉන්ධන වියදමෙන් රුපියල් ලක්ෂ 800-1000ක අතර මුදලක් මෙතැන් සිට රටට ඉතිරි වෙයි.

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2015 වසර වන විටය. උමා ඔයේ හිල නම් බේගලය ජවිපෙ ඇදගෙන ගිය හෙයින් ඒ සඳහා වැඩිපුර වසර නවයක් ගත විය.

දිනකට ලක්ෂ 800-1000ක ඉතිරිය වසර නවයක් පුරා අහුරා දැමූ විට රටේ ආර්ථිකයට අත්වෙන තත්ත්වය බංකොලොත්භාවය මිස අන් කුමක්ද…? මේ උමා ඔයේ පමාව පමණය. ජවිපෙ ඇති කරන ලද විරෝධතා දේශපාලනය හේතුවෙන් තව කොපමණ ජාතික ආර්ථිකය පීඩාවට පත්වන්නට ඇද්ද…?

එහෙම වූ කල්හි යළි පාරට බැසීම ජවිපෙ සිරිතය. දැන් ඒ සඳහා වන අලුත්ම වැඩේ නම් අනෙක් දේශපාලනඥයන්ගේ සහ ආධාරකරුවන්ගේ ගෙවල් සහ හෝටල් ආදිය ගිනි තැබීමය. හනුමා වන්නමට සමවැදී විරෝධතා නංවා රට තවත් වටයකින් අසරණ කරන ජවිපෙ එතැන් සිට මහප්‍රාණ කතා බහ දියත් කරන්නේය.

සංවර්ධනය ගැන විලිසංගයක් නැතිව කතා කරන්නේය. එහෙම ගැලරි ටෝක් ලබාදී යළිත් බලය සඳහා ඉදිරියට ඒමට වලිකන්නේය. උමා ඔය ව්‍යාපෘතිය කියා පාන්නේ ජවිපෙ කෙරුවාව හෙළි කරමින් ඉදිරිය බලා යායුතු බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT