Home » පැණි උගු­ලෙන් අහිමි නම්බුව

පැණි උගු­ලෙන් අහිමි නම්බුව

by damith
April 20, 2024 1:00 am 0 comment

මාරි කැරො­ල­යින් රොක්, නර්ත­න­යෙන් සහ රංග­න­යෙන් මතු නොව ඔපෙරා ගාය­න­යෙන් ද යුරෝපා ප්‍රේක්ෂ­කා­ගා­රය මන­මත් කළාය. 1913දී ඊජි­ප්තුවේ කයි­රෝහි උපත ලැබූ ඇය, ජර්ම­නිය වඩාත්ම ආද­රය කරන නිළිය බවට පත්වූ­වාය. යුරෝ­පයේ සින­මා­ශාලා, මෙම කාලයේ ආශක්ත කර ගනු ලැබුවේ හොලි­වුඩ් රංග­නය විසිනි. එක්සත් ජන­ප­දය දෙසට සිය සින­මාව නැමී යන­වාට ජර්ම­නිය එරෙහි විය. මේ සඳහා විස­ඳුම වූයේ මාරි රොක්ය. ඇය ජර්ම­නි­යෙන් උපන් රංග­න­යක් ලෙස විරු­දා­වලි නංවා ජර්මන් සින­මාවේ තරුව බවට පත් කර­ලීම සඳහා නාසින් සංස්කෘ­තික මෙහෙ­යු­මක් දියත් කළ බව ද සඳ­හන්ය. හිට්ලර් කාන්තා ලෝලි­යෙක් නොවූ මුත් ඇඩොල්ෆ් හිට්ලර් ද ඇයගේ රසි­ක­යෙක් විය. ඇය සහ හිට්ලර් ලිපි හුව­මාරු කර­ගත් බවද සඳ­හන් වේ. ජර්ම­නියේ ප්‍රචා­රක අමාත්‍ය ජෝසප් ගොබල්ස් සමඟ ඇය සමීප සබ­ඳතා තිබුණේ යැයි කට­කතා පළ වන්නට විය.

දෙවැනි ලෝක යුද්ධය නිම වී, කාල­ය­කට පසු සම­හ­රක් ලිය­කි­ය­විලි මඟින් හෙළි වී ඇත්තේ ඇය සෝවි­යට් කඳ­වුරේ ඔත්තු­කා­රි­යක්ව සිටි බවය. මෙය ලෝකය පුරා සිදු­වන මෙහෙ­යු­මකි. ඉත්ථි­ධුත්තෝ ගණ­යට යමෙක් වැටුණු කල්හි එය ඔහුගේ අනෙක් පාර්ශ්වය භාවි­ත­යට ගන්නේ අදාළ පුද්ගල තෙමේ පම­ණක් නොව, ඔහු නියෝ­ජ­නය කරනු ලබන සංස්ථා­වම බා ගැනීම සඳ­හාය. පුරා­ණයේ සිට ඔත්තු සේවා මේ සඳහා ‘ස්ත්‍රිය’ යොදා ගත්හ. හනි ට්‍රැප් හෙවත් පැණි උගුල ලෙස හඳු­න්වන මෙම උපාය, යුද්ධය සහ දේශ­පා­ල­නය ඉක්මවා දැන් බැස ඇත්තේ මාර්කටිං වැඩේ සඳ­හාය.

මේ තීරුවේ අද මාතෘ­කාව සඳහා ප්‍රවේ­ශය වන්නේ, කැරො­ල­යින් රොක් වුවත් එහි ගලා යෑම සඳහා පාදක වන්නේ වත්මන් අපේ නිළි පර­පු­රය. මේ රටේ ඕනෑම අර්බු­ද­යක් අස්සේ නිළි­යක් සැඟව සිටි­න්නේය. මෑත කාලයේ නිළි­යක් නොගෑ­වුණු වැඩ ඇත්තේ කිහි­ප­යකි. පාස්කු ප්‍රහා­රය සඳහා නිළි­යන් ගැන කතා­වක් ඈදී ආවේ නැත. අන් හැම තැන­කම, නම දන්නා නිළි­යන් කිහිප දෙනෙක් ‘ඒ අල ගොඩ මත්තේ’ සිටි­යහ.

රුසි­යානු හමු­දා­වට කුලී හේවා­යන් ලෙස මෙරට විශ්‍රා­මික හමුදා සාමා­ජි­ක­යන් රැගෙන යෑමේ සංවි­ධා­නා­ත්මක ජාවා­ර­මක් දැන් දින දෙක­කට පෙර අල්ලා ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වෙළෙ­ඳාම, ජාවා­රම් සහ සමුද්‍ර අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීහු සමත් වූහ. හොඳට ගෙව­නවා නම්, අපේ උන් අනුන්ගේ රටක වෙඩි වුණත් කන්නේය.

මේ සඳහා වන ඒජ­න්සිය පව­ත්වා­ගෙන ගොස් ඇත්තේ, මහ­නු­වර කටු­ග­ස්තොට පාරේය. මේ ඒජ­න්සියේ ප්‍රව­ර්ධ­ක­යන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරු­ණි­යෝය. මෑතක ජන­ප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසක රඟ­පාන තරුණ ජන­ප්‍රිය නිළි­යන් කිහිප දෙනෙක් ද ඒ අතර ඇති බව ‘දින­මිණ’ දැන ගන්නේ අදාළ පුවත ගවේ­ෂ­ණ­යේදී ලැබුණු ඡායා­රූප සම­ඟය.

දැන් වෙනදා මෙන් නොව නිළි­යක් කියන්නේ වැඩ අධික අයෙකි. වෙනදා නිළි­ය­කට ඇත්තේ රංග­නය, නිරූ­පිකා ආදී සේවා පම­ණය. එසේ වූවාට අද නම හදා­ගන්නා තෙක් ටෙලි නාට්‍ය හෝ චිත්‍ර­පට රංග­නයේ යෙදෙන නිළියෝ ඉන් පසු රංග­නයේ යෙදෙන්නේ අත­රින් පත­රය. ඒ තර­මට වැඩ වැඩිය. එක්කෝ තම තමන්ගේ යූටි­යුබ් නාළිකා සඳහා උදේ ඇ‍ඳෙන් බසින එකේ පටන් වීඩියෝ කර­ගත යුත්තේය. දැන් සම­හර නාළිකා හි ප්‍රවෘත්ති නිවේ­ද­නය කර­නුයේ ද නළු නිළි­යෝය. ප්‍රමෝ­ෂන් ආදී ප්‍රචා­රක සේවා සඳහා ද සම­හ­රෙක් යන්නාහ. මේ ආකා­ර­යට ‘රංග­නය මඳ පම­ණට’ යොදා දැන් ‘නිළිය’ නම් චරි­තය නිමවා ඇත්තේය.

ඒජ­න්සිය සිය අලෙවි ප්‍රව­ර්ධ­නය සඳහා නිළි­යන් යොදා ගන්නේ ආක­ර්ෂ­ණය අර­මුණු කර­ගෙ­නය. අද සිටිනා නිළි­යන් හැට­හු­ටා­හ­මාර අතරේ අප නම් දන්නේ කිහිප දෙනෙක්ගේ පම­ණය. ඒ වුණාට සම­හර අලුත් නිළියෝ මුහු­ණින් අප හඳු­න­න්නේය. නැති­නම් රංග­නයේ යෙදෙන චරි­ත­යක නමින් දන්නේය. පාරේ හෝ අන් තැනක ඒ රූම­තිය දුටු කල්හි, මේ ‘දැකලා පුරුදු කෙනෙක්’ සිට ‘අර නාට්‍යයේ අහ­වල් චරිතේ’ කියනා දුර දක්වා නිළි­යන්ගේ පරා­සය අපේ මනසේ ඇත්තේය. සම­හරු දන්නේ, යූටි­යුබ් වැඩ­ස­ට­හන් නිසාය. සින­මාවේ හෝ රූප­වා­හි­නියේ දැක්ක කලක් මතක නැති වුවද, වයි­රල් වී යන යූටි­යුබ් ‘ෂෝට්’ කෑලිහි ඒ චරිත ඇත්තේ හෙයින් ජන­ප්‍රිය ය.

මේ නිළි­යන්ගේ ආක­ර්ෂ­ණය මතු කර­ගෙන බොහෝ ව්‍යාපාර ඔවුන්ව සිය වැඩ කට­යුතු ප්‍රව­ර්ධ­නය සඳහා ගන්නේය. වෙලේ සුදා සමඟ ද නිළි­යන්ගේ නම් ගෑවි ගෑවී තිබිණි. පාතා­ලය සමඟ එක්ව මොනවා ප්‍රව­ර්ධ­නය කළා දැයි නොදන්නේ නමුත් වෙලේ සුදාගේ ගෙවන ලිස්ට් එකේ දේශ­පා­ලන, පොලිස් චරි­ත­ව­ලට සම සමව නිළියෝ ද වූහ. සම­හර විට වෙලේ සුදා ලියන පිට­ප­ත­කට රංග­න­යෙන් දායක වීමට කැමැත්ත දී ඩුබායි ගොස් ඒ ගැන කතා කළා විය හැකිය. අප එහෙම නරක තාල­යට හැම­දෙ­යක්ම ගත යුතු නැත. වැඩේ කර මුලට පත්තු වූ විට “අපි දන්නා කියන අයියා කෙනෙක්” කියන ගානට සාක්ෂි රංග­නයේ යෙදී­මට තරම් ඔය නිළියෝ චරි­තාංග වන්නාහ.

දමිතා නම් වැඩේ ප්‍රමෝට් කර ගත්තේ, ගෝල්ෆේස් රංග­නයේ යෙදී­මෙනි. ‘ලක් අම්මා’ බේරා ගැනීමේ අව­සන් හෝරාව සඳහා සටන් වැදුණු ඇය දැන් කූරු ගනි­න්නීය. ඒ ලක් අම්මාගේ තුරු­ලෙන් පිටව යෑම සඳහා රැකියා සොයා දෙන බවට කියා මුදල් ගත් චෝදනා පිටය. ඒ නිළි­ රංග­න­යක් ද කියා එක විට පිළි­තුරු දිය නොහේ. ඒත් මේ රංග­නය සඳහා සියල්ල කර ඇත්තේ සැබෑ ලෝකයේ බැවින් කලා­වක් එහි ඇත්තේ වුවද, අධි­ක­ර­ණයේදී රංග­න­යක් ලෙස තහ­වුරු කරන තෙක් දමි­තාගේ රංග­නය හාන්සිය.

නිළි­යක් යනු මාර චරිත බවට පත්වූ මාලනී, ගීතා, අනෝජා, නීතා ආදී කාල සිහි ගන්වන විට, මේ හිංචි පිංචියෝ ළඟ නවා වළ දමන්නේ, ඒ හා මහා විසල් පෞරුෂ ගොඩ­නැඟි ලෝකය නොවේ­දැයි සිහි­යට එන්නේය.

නිළි­යක් ලෙස නම කිය­න්නට සම්ම­ත­යක් අවශ්‍ය වන්නේ, පොඩි කෑලි දෙකක සිටි පමණ, ඇය ද නිළි­යක් ලෙස මාධ්‍ය හඳුන්වා දෙන්නේ බැවිනි. අපේ රංග කලාවේ අස­හාය නිළි­යන්ගේ ගෞර­වය උදෙසා මේ වැනි ‘සූපින්’ කෑලි සඳහා මෙතැන් සිට මොඩල් හෙවත් නිරූ­පි­කාව කියා නම් කරමු යැයි මේ තීරුව යෝජනා කර­න්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT