Home » පිටකොටුවේ මුදා නොගත් කලාපය

පිටකොටුවේ මුදා නොගත් කලාපය

by sachintha
April 22, 2024 1:00 am 0 comment

“පළමුව අප ගොඩනැඟිලි හැඩගස්වා ගනිමු. ඉන් පසු ඔවුන් අප හැඩගස්සනු ඇත.” කියා වින්සන්ට් චර්චිල් ප්‍රකාශ කරන ලද්දේ නාගරික සැලසුම්කරණය පිළිබඳව සඳහන් කරමිනි. නගර සැලසුම්කරණය යනු විසල් බිම් පියස පහසුවෙන් සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමක් පමණක් නොවේ. වර්තමානයේ මේ පිළිබඳව ඇති සංකල්පය වන්නේ නගරයකට පණ ඇති බවය. පණ ගැහෙන නගරයක් බවට යම් වපසරියක් පත්වන්නේ, ඒ සඳහා වන විධිමත් සැලසුමක් සමඟය. නාගරික සංවර්ධනය වැනි විෂයක් රටක ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගන්නේ, මෙම පණ ගැහෙන සංකල්පය සමඟය. හුදී ජනයා නගරයට එන්නේ සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය. එවන් සන්ධිස්ථානයක් තිබිය යුත්තේ ජනහිතකාමී ආකාරයට පමණක් නොවේ. අලංකරණය සඳහා ද එහි ස්ථානයක් හිමිවිය යුතුය. විශේෂයෙන්ම මහ නගර සංකල්පය පැමිණි පසු, නගරය යනු අවශ්‍යතා සපුරා ගැනීමේ සීමාව ඉක්මවා ජනයාගේ ගැවසීම සඳහා හිතකර ස්ථානයක් ලෙස විකාශය වන පරිදි ලෝක මට්ටමෙන් නිර්මාණය විය. කොළඹ නගරය මේ රටේ වාණිජ අගනගරය ය. එය තදාසන්න ප්‍රදේශයක් ලෙස ‘දෙකට දෙවාරේ’ තවම ඇත්තේය.

සැලසුම් සහගත නාගරීකරණය ඔස්සේ කොළඹ සිරිය සහ පහසුකම් ඇති පළාතක් වෙනම ඇත්තේය. ඒ අතරේ කොළඹ ඇතුළේම මුදා නොගත් කලාපයක් ද ඇත්තේය. පසුගිය දා කොළඹ නගර සභා නිලධාරීහු, මාධ්‍ය හමුවේ කියා සිටියේ, පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවය. මේ රහසේ වැඩ කළ හැකි ස්ථානයක් නොවේ. දවස පුරා සෙනඟ ගැවසෙන, රටේ නිලධාරි තන්ත්‍රයට හොඳට ඇස ගැසෙන ‘ඒරියා’ එකකි. එහෙව් ස්ථානයක් ජාවාරම්කරුවෝ අනවසර ඉදිකිරීම් සිදු කරන්නේ නම්, එම පළාතේ පොලිසිය ඇතුළු සියලු නිලධාරි තන්ත්‍රය සඳහා අප වැටුප් ගෙවීමේ තේරුමක් නැත. එහෙයින් ජාවාරමුන් ඇල්ලීමට පෙර, නීතිය ක්‍රියාත්මක කිරීම භාර පිරිස, අල්ලා පිටකොටුව පැත්තේ මුල්ලක ගාල් කළ යුත්තේය.

‘කඩ කාමර මර්සිය’ යනු එදා සිටම පැවත එන්නෙකි. කොටුව සහ පිටකොටුව පැත්තේ පමණක් නොව කොළඹ වටේම, නගර සභාවට හෝ ආණ්ඩුවට අයත් ස්ථාන කඩ කාමර සඳහා බදු දීමේ වෙනම ව්‍යාපාරයක් වේ. මේ පිරිස කරන්නේ, පැති දෙක තුනක් ලෑලි ගසා සහ සිමෙන්තියෙන් බැඳ එයට විදුලිය ලබා ගැනීම පමණය. එතැන් සිට එය කඩ කාමරයකි. පේමන්ට් එකේ නම් ඉටි කොළ අදින ලද මැස්සක් සහිත වපසරියකි. ඒ සඳහා වෙනම ගාස්තු ගන්නා පිරිසක් වෙත්. මේවා කෙරෙන්නේ එළිපිට හෙයින් සියල්ලෝ එම අනවසර මුදලාලිලා ගැන දන්නාහ. එසේ වුවත් මුන් ටික කුදලාගෙන යාමේ ශක්‍යතාවක් ලයිසන් චණ්ඩින් වෙත නැත.

පිටකොටුව අවට සපුරා නවීකරණය විය යුත්තේය. ඒ උදෙසා කොච්චිකඩේ ප්‍රදේශය කිට්ටුව පිහිටා තිබූ මාළු කඩේ පෑලියගොඩට රැගෙන ගියේය. මැනිං වෙළෙඳපොළ ද පෑලියගොඩ බලා ගියේය. එහෙම මාර්කට් දෙකක් කොළඹ බෝඩරයට රැගෙන ගියේ, තදබදය අඩුකර කොළඹ නගරයේ පහසු බව රැක ගන්නටය. එළවළු මාර්කට්ටුව පෑලියගොඩට රැගෙන ගිය පසු පිටකොටුව ප්‍රදේශයේ නවීකරණයක් ඇති කිරීමට එවකට ආරක්ෂක සහ නාගරික ලේකම් ගෝඨාභය රාජපක්ෂ සැලසුම් කළේය. ඒ අනුව බේරේ වැවේ කුණු මුල්ල වන් ප්‍රදේශය, පාවෙන වෙළෙඳසල් සංකීර්ණයක් බවට පත්විය. එම සංකීර්ණය වටා පිටකොටුව ප්‍රදේශයට නව එළියක් ඇති කිරීම රජයේ සැලසුම විය.

මෙහෙම සැලසුම්, රජයක් ඉටු කරන විට ජනතා සහාය ලබාදිය යුත්තේ මුත්, මේ රටේ සමහර ජනයාට ඒවායින් වැඩක් නැත. බේරේ ගඳ නෑරේ කියමින් කන්පින්දම් ගසනු විනා මේ අවට භුමිය නවීන ආකාරයට හැඩගස්සා ගැනීම සඳහා කිසිදු සහයක් එවැනි පුද්ගලයෝ ලබාදෙන්නේ නැත. මේ රජය බේරේ වැව ප්‍රදේශය සංවර්ධනය සඳහා ජපන් සහාය ලබාගෙන තිබේ. ඒ අනුව ජරා ගොඩක් බඳු බේරේ වැව සංවර්ධනයට ජපන් සමාගමක් පැමිණ ඇත්තේය. සියල්ල නොමිලේය. එසේම ගරා වැටී තිබුණු පාවෙන වෙළෙඳසල් ප්‍රදේශය සඳහා ද ජපන් ආයෝජනයක් පැමිණ තිබේ. බංකොලොත් භාවයට පත්ව, ආර්ථික අතින් හිස ඔසවන රටකට, ඔය වැනි ආයෝජනයක් එනවා කියන්නේ අප ඒවා සාදරෙයන් පිළිගත යුතු තත්ත්වයකි. පාවෙන වෙළෙඳසල් සහිත කලාපයේ ඇති බැස්ටියන් මාවත ද අප නියමාකාරව හදාගෙන, මෙම ආයෝජන සමඟ කොළඹ සඳහා අලුත් ගමනක් ඇති කර ගත යුත්තේය. එහෙම තිබියදී වසල ප්‍රජාවේ කිහිපදෙනෙක් බැස්ටියන් මාවතේ අනවසර කඩ ඉදිකර කුලියට ලබාදෙන සෙල්ලමක් පවත්වාගෙන යෑම නගර සභාවට හිසරදයක්ව පවතින්නේය.

පිටකොටුවේ ඔහොම රඟන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පිරිසගේ කොන්දේ තරම හේතුවෙනි. පිටකොටුවේ බස් කප්පම් තවම ජයට පවතින්නේය. ‘ටර්න් එක’ සඳහා අවසර ලැබෙන්නේ එහෙමය. කඩ කාමර ‘මෙහෙමය’. ඔය සෙල්ලම් සඳහා තදබල නීතියක් ඇති කළ යුත්තේය.

බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීම සඳහා ජනවාරි මාසයේ පොලිසිය සහ අදාළ අංශ, බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද රැගෙන පැමිණියේය. ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි හෙයින් වැඩේ නතර විය. එහෙම කළ සැණින්, වසල පිරිස රජ වන්නේය. මෙයින් ජීවිකාව සිදු කර ගන්නා පිරිස සඳහා වෙන ඕනෑතරම් ලබාදිය හැකි අවස්ථා තිබේ. ඒවා කළ යුතුය. එහෙම කියා වැඩේ නතර කරන්නට ගියහොත් සිද්ධ වන්නේ පිටකොටුව කිසිදා ගොඩගැනීමට නොහැකි වීමය. අවස්ථා අනන්තයක් ලබා දුන්න ද, තදබල නීතියක් ඇති නොකරන්නේ නම්, මේ ප්‍රදේශය සංවර්ධනය කරනවා බොරුය. තමන්ගේ ජීවිකාව මේ යැයි කියාගෙන, තව තව අලුත් පිරිස් මේ පළාතේ කරක් ගසනවා විනා, වැඩේ අහවරක් වන්නේ නැත. පාවෙන වෙළෙඳසල් ප්‍රදේශය සංවර්ධනය කරන අතරේ පිටකොටුව සඳහාම නව සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට නම් පළමුව මේ අනවසර වැඩේ සඳහා සියලු දෙනා කෙළින් සිටිය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT