Home » උමා ඔයේ හිල

උමා ඔයේ හිල

by mahesh
April 25, 2024 1:00 am 0 comment

උමා ඔය දෙසට උඩු බුරන ලද සියලු දෙනා, දැන් නැට්ට දෙපාරංශයේ ගසාගෙන අලුත් වැඩක් සොයනවා ඇත. මේවා උපන් ඇදය. සමහරුන්ට එවැනි ආබාධ ඇත්තේය. එදිනෙදා වචනයෙන් මේ ගැන කියන්නේ ‘උපන් බකල්, කොයි වින්කලේට දැම්මත් ඇරිය නොහැකිය’ කියාය.

ජවිපෙ එදා සිටම මේ ජාතියේ කතා කීම, සිය දේශපාලනයේ කොටසක් කර ගත්තේය. 1970 වසර පමණ වන විට ඇල්ල – වැල්ලවාය පාර පුළුල් කර ඉදිකිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ සදහා විශාල මහජන ප්‍රසාදයක් ගලාගෙන ආවේ, කල් තියා අලින්ගේ ප්‍රහාර වළක්වා ගැනීමට මෙවැනි පුළුල් මාවත් හේතුවක් වන්නේ බැවිනි. වංගු අඩු සහ වාහන දෙකකට හිතේ හැටියට මාරු විය හැකි ආකාරයට, ග්‍රාමීය ප්‍රධාන මාර්ගයක් පුළුල් වන කල්හි එම පළාතේ ජනී ජනයාගේ ආර්ථිකය ද ප්‍රසාරණය වන්නේය. මේ නිසා ඒ අවට ජනතාව ආණ්ඩුවට ප්‍රශංසා කරමින්, මෙම නව මාවත පිළිගත්තේය. විජේවීර මේ පාර පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරමින් පවසන ලද්දේ, ඇල්ල – වැල්ලවාය පාර පුළුල් කරමින් ඉදිකරන ලද්දේ, අමෙරිකානු ප්‍රහාරක ගුවන්යානා ගොඩබෑම සඳහා ධාවන පථයක් ලෙස බවය. මේ කාලයේ බෙන්තොට බීච් හෝටලය ඉදිකරමින් තිබුණි. ඒ සා විශාල ඉදිකිරීමක් සංචාරක හෝටලයක් නොවන බව විජේවීරගේ මතය විය. ඔහු ඒ ගැන සඳහන් කළේ එක්සත් ජනපද බුද්ධි සේවා මූලස්ථානයක් ලෙස එම ගොඩනැඟිල්ල ඉදිවෙන බවය.

ඡන්ද කාලයට ගැලරිය ‘කික්’ එකේ තබා ගැනීම සඳහා ඔහොම කතා, දේශපාලන පක්ෂ සමහරක් කියන්නේය. ජවිපෙට මේ සාධකය විශේෂ වන්නේ, හැම කාලයටම මේ වගේ කතා කියාගෙන යෑම, එහි අනිවාර්ය දේශපාලන අංගයක් බැවිනි. සංවර්ධන ව්‍යාපෘති සිදු කරන කල්හි සියයට තුනේ කල්ලියට ඇඟේ දැවිල්ලක් හට ගන්නේය. වාවා ගත නොහේ, පාරට එන්නේය. දක්ෂිණ අධිවේගය සාදන විට ඒ සඳහා පවසන ලද්දේ, මහින්ද රාජපක්ෂට දවල් කෑමට මාළු ඇඹුල් තියල් ගෙන්වා ගැනීමට මෙම මාවත ඉදිකරන බවය. ඒ අනුව දිනපතා මහින්ද රාජපක්ෂ මාළු හට්ටිය බැගින් එම මාවතේ ගෙන්වාගත යුතුය. ඇඹුල් තියල් සෑදීම කොළඹ වුවද කළ හැක්කේය. එය පහසු කටයුත්තකි. එසේ තිබියදී අධිවේගයක් සාදාගෙන යමෙක් මාළු ඇඹුල් තියල් හට්ටිය ගානේ දිනපතා ගෙන්වා ගනීද…? ඇඹුල් තියල් වනාහි කල්තියා ගත හැකි ආහාරයකි. එසේ නම් සතියකට වතාවක් ඇඹුල් තියල් ගෙන්වා තබා ගත නොහැක්කේ මන්ද…? යැයි කිසිවෙක් ජවිපෙන් පෙරළා ඇසුවේ නැත.

එසේ නොඇසීමේ ප්‍රතිපලය වූයේ, හම්බන්තොට ගල, උමා ඔය හිල වැනි කතා ගොත ගොතා ජවිපෙ විසින් කරළියට ගෙන ඒමය. ජවිපෙ ද බලයට ගෙන ආ යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට විකුණන ලද්දේය. ගල් ඇති, නැව් නොඑන වරායක්, එහෙම විකුණා දැමිය හැකිද…? හම්බන්තොට වරාය දැන් ජාත්‍යන්තරව පිළිගත් වරායකි. එය විශාල බහාලුම් මෙහෙයුම් කටයුතු සහ ලෝකයේ ඇති සුවිශාල නැව් මෙහෙයුම් කටයුතු කළ හැකි වරායකි. ජවිපෙ හම්බන්තොට වරායට නොකියූ දෝෂයක් නැත. දැන් ඒ කතා නැත. වරායේ වැඩ ද සාර්ථකව ඉටු කෙරෙමින් යන්නේය. ජවිපෙ එහෙම බයිලා ගැසුවා කියා, එම පිරිසට ද ලජ්ජාවක් නැත්තේය.

සමන්ත විද්‍යාරත්න තෙමේ, උමා ඔය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී පළ කළ අදහසක් මේ තීරුව උපුටා දැක්වීමට රිසි යැ. “මේක බහු විනාශකාරී ව්‍යාපාරයක්‌. මේක කරන්න එපා… ඇහුවද… නෑ. ඔන්න පටන් ගත්තා. මම මේකත් කියන්න ඕන. ඔය වැල්ලවාය, මොණරාගල, බුත්තල, තණමල්විල පැත්තේ ඉන්න සහෝදර ජනතාවට වතුර ප්‍රශ්නයක්‌ තියෙනවා. අපි වතුර දිය යුතුයි. නමුත් මේ කියන මධ්‍ය කඳුකරයේ මේ ව්‍යාපෘතිය කරන ඉසව්වේ අභ්‍යන්තර පාෂාණ පද්ධතිය උමං මාර්ගවලට හරියන්නේ නෑ. අපි උඩින් හෝ වෙන මඟකින් හෝ වතුර ගෙනියමු. මේක නම් කරන්න එපා කිව්වා… ඇහුවද… නෑ, දැන් කරන්න දෙයක්‌ නෑ. කරගෙන ගිහින් මැදදි ඇන ගත්තා. දැන් මේ වෙලාවේ කරන්න ඕන දේ තමයි වහාම අර මධ්‍යම කඳුකරයේ අභ්‍යන්තර හදවතින් වෑස්‌සෙන ඒ මහා දිය කාන්දුව වහන්න ඕන. දවසකට වතුර ලීටර් විසිදෙකෝටි ගණනක්‌ මේ උමඟ ඔස්‌සේ එළියට එනවා. ඒක මොන ක්‍රමයකින් හරි වහන්න ඕන. ඊළඟට මේ කඳුකරයේ නැඟෙනහිර බෑවුමේ පන්සල් පල්ලි කෝවිල්ද ඇතුළුව නිවාස 7037 ක්‌ විනාශයක අවදානමකට මුහුණදීලා තියෙනවා. මංමාවත් අවදානමට මුහුණ පා තියෙනවා. බණ්‌ඩාරවෙල නගරයේ එක්‌කොටසක්‌ ගිලා බහිනවා. තව කොටසක්‌ ඉරිතලලා විනාශ වෙලා තියෙනවා. සිඳී ගිය ළිං දියකඳුරු ජල පහරවල් පොකුණු 3112 යි. අක්‌කර දහස්‌ ගණනක්‌ වගා බිම් අත හැරිලා. රැකියා දස දහස්‌ ගණනක්‌ නැතිවෙලා.”

මේ බෙරිහන්දීම දැන් කන්කෙඳිරියක් සේ වත් ඇසෙන්නේ නැත. සැඟව පලා ගොස් ඇති ‘උමා ඔයේ හිල’ හෙට අනිද්දාට අලුත් වැඩක් අරගෙන පිටියට බසිනවා ඇත.

මේ කඩාකප්පල්කාරී වැඩ, එක් අයෙක්ගේ වෑයමක් පමණක් නොවේ. පළමුව එකෙක් කතාව ගොතා ගනියි. ඊළඟට පහළ කාඩරයේ ඇති ප්‍රචාරක අංශය ‘අතින් දමා’ වැඩේ පතුරුවා හරින්නේ ඇහෙන් දැක්කා සේය. ෆේස්බුක් බලකාය සහ සමාජමාධ්‍යයේ තවත් පිරිසක් වෙත්. එයින් පිරිසක් ‘ඊනියා මධ්‍යස්ථ මතධාරීහු’ මේ ගොඩට දමාගෙන, ඉන්ටර්වීව් ගනිති. ඔහොම කළ කල්හි උමා ඔය යනු, වහා නවතා දැමිය යුතු මහා අපරාධයකි. සමන්ත විද්‍යාරත්න තෙමේ, දැන් කොයිදැයි සොයා ගෙන, ඔහුගේ වචනයෙන් ‘මේක බහු විනාශකාරී ව්‍යාපාරයක්‌’ යන්න මේ රටේ ජනතාව නිර්වචනය කරගත යුත්තේය. ඔය දේශපාලන ව්‍යාපාරයේ උපන් ඇද ඇරීම සඳහා ජනතා බලවේගය දැන් වින්කලයක් විය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT