නීතියේ ආධිපත්‍යය හා යුක්තිය පසිඳලීමේදී වසර සියයකටත් වඩා වැඩි කාලයක් තිබුණු විෂමතාවක් දුරු කිරීම වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන ගෙන එන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය සම්බන්ධයෙන් වූ සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.
ඒ අනුව යම් වරදක් වෙනුවෙන් රිමාන්ඩ් ගතවන සිරකරුවකු රිමාන්ඩ්ව සිටින කාලය හා අවසාන දඬුවම ලබාදෙන කාලය එකට ගණනය කිරීම මෙයින් සිදු වෙනවා. නීතිය වඩාත් මානුෂීය මුහුණුවරක් ගත යුතු අතර නීතිය වඩාත් සාධාරණ විය යුතු බව ද සඳහන් කළ ඇමැතිවරයා රිමාන්ඩ් දඬුවම ප්‍රධාන දඬුවමේ කොටසක් බවට පත් වෙනවා. එමෙන්ම යම් අපරාධයකට සම්බන්ධ පාතාල කල්ලි, සංවිධානාත්මක අපරාධකරුවන් වැනි පිරිස් මෙන්ම සමාජයට අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි වැරදිකරුවන් වැනි පිරිස් සම්බන්ධයෙන් ලබාදී ඇති ව්‍යතිරේක හා අභිමතය පරිදි කටයුතු කිරීමේ බලය ලබාදී තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. මෙම සංශෝධනය මඟින් පනතේ වගන්ති කිහිපයකට සංශෝධන ගෙන ඒමටත් අපේක්ෂා කරනවා.
ඒ වගේම විෂ වර්ග, අන්තරායකර ඖෂධ ආදියට අදාළ ලෙගුලාසිත් ඉදිරිපත් කරනවා. අපේ රටේ අපරාධ නඩු විධාන සංග්‍රහය දැනට පවතින්නේ 1979 පාර්ලිමේන්තුව සම්මත කරගත්ත අපරාධ නඩු විධාන සංග්‍රහය. මීට පෙර බ්‍රිතාන්‍ය එක්දහස් අටසිය ගණන්වල තමයි අපරාධ නඩු විධාන සංග්‍රහයක් හඳුන්වා දුන්නේ.
1973 දී යුක්තිය පසිඳලිමේ පනතින් අහෝසි කළත් යම් යම් සංශෝධන සහිතව තමයි අපරාධ නඩු විධාන සංග්‍රහය 1979 දී බලාත්මක වුණේ. එහි වගන්ති කිහිපයක් තමයි සංශෝධනය කිරීමට අපේක්ෂා කරන්නේ. 185, 203, 238 යන වගන්ති. මෙයින් අප සිදුකරන්නේ නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳලීම පිළිබඳව අවුරුදු සියයකටත් වඩා වැඩි කාලයක් තිබුණු විෂමතාවක් දුරුකිරීම සඳහායි මෙම සංශෝධන ගෙන එන්නේ. ඒ විෂමතාව ලෙස හඳුන්වන්නේ සමහර තැනැත්තන් යම් යම් අපරාධවලට අපරාධ චෝදනා ලබා ඔවුන් සැකකරුවන් ලෙස සමහරවිට දින 14, 28 රිමාන්ඩ් භාරයේ ඉන්නවා. ඇතැම් සිරකරුවන් වසර දෙක තුන සිටිනවා. අවුරුදු 10 හිටපු අයත් ඉන්නවා. ඔවුන් වරදේ ස්වභාවය අනුව වැරදිකරු වුණාට පසුව ගරු අධිකරණය අවුරුදු පහක් හෝ දහයක්, විස්සක් වෙන්න පුළුවන්.