Sunday, May 19, 2024
Home » මානෙල්වත්ත පන්සලට ලැබෙන රට සල්ලි ගන්න වෙනත් අයකු නමින් සිම් මිල දී ගෙන

මානෙල්වත්ත පන්සලට ලැබෙන රට සල්ලි ගන්න වෙනත් අයකු නමින් සිම් මිල දී ගෙන

by mahesh
April 25, 2024 1:00 am 0 comment

– ප්‍රධාන සැකකරු සල්ලි දෙනවා කියා අනෙක් අයවත් පොලඹවාගෙන
– රිමාන්ඩ් කර සිටි පස් දෙනා ලක්ෂ 2 බැගින් ශරීර ඇප දී එළියට
– සැකකරුවන්ට රට ගමන් තහනම්

මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන රුපියල් කෝටි ගණනක් වටිනා මුදල් සොරකම් කිරීමේ අරමුණින් අන් අයකු ලෙස පෙනී සිට සිම් කාඩ් පතක් මිල දී ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඊයේ (24) නියම කළාය.

මීට අමතරව සැකකරුවන්ගේ ඇපකරුවන් ග්‍රාම නිලධාරී සහතික මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, සැකකරුවන්ට විදේශගත වීම තහනම් කර ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුම්වත් කිරීමටත් නියම කර මෙම සැකකරුවන්ට ඇප ලබා දීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 – 12 අතර කාලය තුළ කැලණිය පොලිසියේ පෙනී සිටීමටත් නියම කර සිටියාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජී. සමන් කුමාර, චාන්දනී මල්කාන්ති, එස්.ඒ. රුපසිංහ, ජී.ජේ.ජී.එස්. ඩිලාන් ෆොන්සේකා, වයි.ජී. නාලක දිනේෂ් ගමගේ යන අයට එසේ ඇප නියම විය.

මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝදාගම චන්දිම හිමියන් විසින් කැලණිය පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ. කැලණිය පොලිසියේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ජාත්‍යන්තර වශයෙන් රුපියල් කෝටි ගණනක් මුදල් අධාර වශයෙන් ලැබෙන අතර, මෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පාසල් අධ්‍යාපනය අවසන් කළ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට විවිධ අධ්‍යාපන පාඨමාලා පවත්වන බවත් එහිදී මෙම ස්ථානයට ලැබෙන මුදල් ආධාර සොරකම් කිරීමේ අරමුණින් අන් අයකු ලෙස පෙනී සිටිමින් මෙම සිම් කාඩ් පත මිල දී ගෙන ඇති බවත් පැවසීය. එහිදී මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් අනෙක් සැකකරුවන්ට විවිධ ප්‍රමාණයෙන් මුදල් ලබා දෙන බවට පවසමින් මෙම වංචා කටයුත්ත සඳහා ඔවුන් සහභාගි කරගෙන ඇති බවත් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත් කැලණිය පොලිසියේ නිලධාරීහු පෙන්වා දුන්හ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියම කර මෙම නඩුවේ විමර්ශනවල ප්‍රගතිය ඉදිරිපත් කිරීමට නඩුව ලබන සැප්තැම්බර් මස 5 වැනි දින කැඳවීමට නියම කළාය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නලීන් අක්මීමන මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියහ.

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT