Home » ඔහොම හිනාවෙනකොට නුඹ ලස්සනයි උමා

ඔහොම හිනාවෙනකොට නුඹ ලස්සනයි උමා

by sachintha
April 24, 2024 1:00 am 0 comment

පිදුරුතලාගල කන්දෙන් පැන නඟින ජල පහරක්, යම් තරමකට ලොකු මහත් වී මහවැලි ගඟේ අතු ගංගාවක් වන්නේය. ඒ උමා ඔයේ ‘උප්පැන්නය’ය. එතැන් සිට මේතාක් ගලා ගිය ආකාරයට උමා ඔය ගලා බැස්සේ නම්, මෙතුවක් කල් වැළලෙන්නට හැදූ ගැන්සියට මාතෘකාවක් නැති වන්නේය. උමා ඔය ඔහේ ගලා යද්දී ඒ සඳහා ‘යෝජනා ක්‍රමයක්’ පළමුව යෝජනා වන්නේ 1959 වසරේය. ඔහොම එක් එක් යෝජනා ඇවිත්, කොළ පිටින් ඒවා යට ගොස් වැඩේ කෙරෙන තැනට නව අධ්‍යයනයක් සිදු වන්නේය. උමා ඔයේ වතුර කිරිඳි ඔයට හැරවීම සඳහා වන යෝජනාව එන්නේ, රාජ්‍ය ආයතනයක් වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතිනි. 2002 වසරේදී කැනේඩියානු සමාගමක්, නැවත ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර උමා ඔයේ දිය කඳ, කිරිඳි ඔයට හැරවීමට වෙහෙස වන්නේය. 2004 වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව නව ශක්‍යතා අධ්‍යයනයක් කිරීමේ ප්‍රතිඵලය වන්නේ, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙපළ අතින් විවෘත වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඇතිවීමය.

පළාතකට විස්ස බැගින් පමණ වූ වැදගත් යෝජනා මේ රටේ දශක ගණනාවක් තිස්සේ ඉදිරිපත්වූ නමුදු, ඒ සියල්ල ‘කොළ බරට’ රාක්කයක තැන්පත් වූවා මිස, ඊට එහා අඩියක්වත් ගියේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපති නොවූයේ නම් අද ‘උමා හිනාවන්නේ නැත’.

මේ රටේ කිසිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මකහාවය සඳහා ඉදිරියට නොඑන්නේ, විරෝධතාකරුවෝ, සිදු කරන කුමන්ත්‍රණ නිසාය. දේශපාලන වශයෙන් සිය අනාගතය සඳහා අවැඩක් යම් ව්‍යාපෘතියක් නිසා සිදුවන්නේ නම් එතැන් සිට වැඩේ කචල් කිරීම සඳහා ‘රත්තෝ’ පාරේ ලගින්නාහ. පෝස්ටර් යුද්ධ දියත් කරන්නාහ. මුසා වපුරන්නාහ. නඩු යන්නාහ. මේ සෑම ආකාරයකින්ම ඔවුන් සිදු කරන්නේ අර්බුදය’ නම්, සිය ආහාරය සරි කර ගැනීමය.

උමා ඔයේ උදාහරණය මේ සඳහා ‘මැච්කර’ බැලුවොත් කතාව පැහැදිලිය. උමා ඔය සඳහා හිලක් මවා, එම ව්‍යාපාරයේ ඉදිකිරීම් නිසා බිත්ති ඉරි තළා ගොස් ඇතැයි, ගෙවල් එකක් දෙකක් පෙන්වා පළාතක්ම නාය ගියා සේ පෙන්වන ලද්දේ, ඔය ගැන්සිය ය.

උමා ඔය උමග දිගේ එන ජල පහර එළියට එන්නේ, වැල්ලවායට උඩිනි. වැල්ලවායේ සිට කුඩා ඔය හරහා තණමල්විල, යන ප්‍රදේශ මේ මාර්ගයෙන් සශ්‍රීක වන්නේය. සශ්‍රීික පස සහිත මේ ප්‍රදේශය රටේ දුෂ්කරම පළාත වී ඇත්තේ ජල හිඟය නිසාය. පායන කාලෙට හිඳෙන කුඩා වැව් 127කට මේ යටතේ ජලය ලැබෙන බැවින් තණමල්විල දක්වා ඉඩම් සියල්ල වසර පුරා වගා කළ හැකි තත්ත්වයකට පත්වන්නේය. හෙක්ටයාර 3800ක් අලුතෙන් වගා කිරීම සඳහා වන ශක්‍යතාවය ඉන් ලැබෙන්නේය. ජලය හිඟ නිසා එක් කන්නයක් පමණක් වගා කරන කුඹුරු හෙක්ටයාර 1500ක් කන්න දෙකම වැවෙන තැනට පත් වන්නේය.

ඔහොම වූ සැණින් පළාතකම ජන ජීවිත සක්‍රිය වන්නේය. දුෂ්කර දිස්ත්‍රික් ලේබල් ගැලවී, ඒවායේ ජනතාව ද රටේ අනික් මිනිසුන් මෙන් ජීවත් වන්නට පටන් ගන්නාහ. ගංජා හේන්, දඩමස් විකිණීම ආදී අසහන පලවා යන්නේය. එහෙම වූවිට, අර පක්ෂයට ‘ප්‍රධාන පෝෂක ප්‍රදේශයක්’ අහිමි වන්නේය.

උමා ඔය මේ රටේ ඉතිහාසයේ ඉංජිනේරුමය හාස්කමක් බඳුය. උමං ආදාන විට පළාතම ගිලා බසිනවා කියා, පක්ෂයේ අය සමඟ පාරට බැස්ස පිරිස, රටට දුන්නේ මෙවන් උමගක් මෙලෝ වැඩක් නැති බවය. ඇළක් වෙනුවට උමගක් මාර්ගයෙන් මෙසේ ජල කඳ රැගෙන යනු ලබන්නේ, විදුලි බලාගාරයක ටර්බයින් කරකැවීම සඳහා අවශ්‍ය ජලයේ පීඩනය පවත්වාගනු වස්ය. මෙම උමග, කොටස් තුනකි.

පුහුල්පොළ ජලාශයේ සිට ඩයරාබ ජලාශය දක්වා පළමු කොටසය. එහි දිග කිලෝ මීටර් හතරකි. කෑල්ල කිලෝ මීටර් 15ක් වූ දෙවැනි කොටස, ඩයරාබ ජලාශයේ සිට විදුලි බලාගාරය දක්වාය. විදුලි බලාගාරයෙන් පිටවෙන ජලය කිරිඳිඔය දක්වා රැගෙන යන, කිලෝ මීටර් හතරක් දිග තුන්වෙනි කොටස, අවසන් අදියරය. කිලෝ මීටර් 23කි. ඉන් වසරකට විදුලිය ගිගාවොට් පැය 230ක්, හෙවත් විදුලි ඒකක මිලියන 230ක් නිපදවනු ඇත්තේය. මේ උමග කණින විට, පෑගෙන විරෝධය දෙස බැලූ කල්හි, මේ රටේ එතෙක් මෙතෙක් සිදු වූ විශාලම විනාශය එය සේය. ජන ජීවිත සියල්ල, මේ හේතුවෙන් පොළොවට වැළලෙන බව කිය කියා පෙළපාළි මදිවාට, නඩු දමා ද උමා ඔයට, නැවතීම තබන්නට මේ පිරිස උත්සාහ කළේය. ජාත්‍යන්තර උමං හා භූගත අවකාශ සංගමය, උමා ඔය උමග උදෙසා ඇගැයීම් සහතිකය පිරිනමන්නේ, අපෙන් අත යටින් ගාණක් රැගෙන නොවේ. ශ්‍රී ලංකාව කියන පදයට එවැනි ජාත්‍යන්තර සංගම් ඇගැයීම් නොකරන්නේය. මෙහේ ඇති උමගක් උදෙසා වැරදියට, කඩේ ගොස්, සංගමයේ සහතිකය ඔවුහු අහිමි කර නොගන්නාහ. ව්‍යාපෘතිය මෙහෙයවීමේ ආරක්ෂිත මූලධර්ම, ගැටලු මගහරවා ගැනීම, පාරිසරික දූෂණය අවම කිරීම හා නිශ්චිත ජයග්‍රහණ යන කාරණා සලකා බැලුවද, අර සෙට් එකට ඒවා වැඩක් නැත. උමගේ හිලක් මිස, අන් කිසිවක් ඔවුනට නැත.

ඔය ආකාරයට රටක් සංවර්ධනය වෙනවා කියන්නේ, අර කාණ්ඩයට, දේශපාලන ලෝකයේ එලෝ මෙලෝ නැතිවෙනවා යන්නය. එහෙයින් රටේ දියුණුව සඳහා යම් ව්‍යාපෘතියක් දියත් වන්නේ ද මේ සෙට් එක ‘පාරේය’.

අපේ රටේ නොබැඳි පිළිවෙත පෙන්වා දෙමින්, මේ දුෂ්කර මොහොතේදී ඉරාන නායකයාගේ පැමිණීම සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් භාර ගෙන ඇත. මේ රටේ සදාකාලික මිතුරෙක් වන, අපේ රටේ තේ කෝප්පයක් බී, දවස පටන් ගන්නා, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මැතිඳුන් මේ දේශය වෙනුවෙන්, දිනමිණ උණුසුම්ව පිළිගන්නේය. අෙන්ක විඳ දුක් දොම්නස් මැද්දේ, අප කාලතරණය කළ යුගයන්හි, පර්සියාව සහ සිංහලයේ යට ගිය සබැඳියාව, දිගටම පවත්වාගෙන ගිය, ඉරාන ජනතාවට ද මේ මොහොතේ අප ස්තුති කළ යුත්තේය.

මේ මුදාහරින දිය කඳ, කෙත්වතු සරුසාර කර, තිබහ සරි කර, එයින් උපදින විදුලියෙන් රට සාර කරනවා පමණක් නොවේ. මේ රටේ හැම සංවර්ධන ව්‍යාපෘතියකටම, විරෝධතා දියත් කර ඒවා හකුළා දමන දේශපාලනය ද ඈතට ඈතට ගසා දමනු ඇත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT