Home » නවීකරණය කෙරෙන උතුරු දුම්රිය මඟේ මහව-අනුරාධපුර කොටස ඇමැති නිරීක්ෂණයට

නවීකරණය කෙරෙන උතුරු දුම්රිය මඟේ මහව-අනුරාධපුර කොටස ඇමැති නිරීක්ෂණයට

by sachintha
April 24, 2024 1:01 am 0 comment

මේ වන විට ඉදි කිරීම් සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.

එහිදී ඉදි කිරීම් සිදු වන මහව දුම්රිය ස්ථානය, ගල්ගමුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිවන ගල්ගමුව, කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

මේ ව්‍යාපෘතියේ ඉදි කිරීම් භාර ඉන්දීය ඉර්කෝන් ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) ඒ.කේ. සිං මහතා මේ ව්‍යාපෘතියේ සහ වනජීවී උමං මාර්ගයේ විශේෂ නිරීක්ෂණයක් සඳහා මේ අවස්ථාවට එක්ව සිටීමද විශේෂත්වයකි.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කෙරුණු සහකාර වාණිජ අධිකාරි කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රයේ නිරීක්ෂණයකද නිරත වූ අමාත්‍යවරයා මේ වන විට භාවිතයට නොගෙන වසා තබා ඇති ගොඩනැඟිලි කිහිපයක් ඉදිරියේදී අනුරාධපුරය වෙත පැමිණෙන වන්දනාකරුවන්ගේ ආහාරපාන ගැනීම සඳහා, සනීපාරක්ෂක කටයුතු සඳහා සහ පොහෝ දිනවල සිදු කෙරෙන දන්සල් කටයුතු සඳහා නොමිලේ ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ නිරීක්ෂණය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, සුරකිමු ලංකා පදනමේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි, ඉරකොන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන සාමාන්‍යධිකාරී ගුරු චඩ්චා මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT