Home » පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට රජයේ ඉඩම පිටස්තරයන්ට දීමට විරෝධය

පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට රජයේ ඉඩම පිටස්තරයන්ට දීමට විරෝධය

by sachintha
April 24, 2024 1:01 am 0 comment

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පෞද්ගලික ලුණූ ලේවාය ඉදිරිපිට ඇති රජයේ ඉඩම් පිටස්තර පුද්ගලයන්ට දීමට කටයුතු කරමින් ඇති බවට චෝදනා කරමින් පුත්තලම නගරයේ පදිංචිකරුවන් 200කට ආසන්න පිරිසක් එම ඉඩම් තමන්ට දෙන්නැයි ඉල්ලා විරෝධතාවක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පෙරේදා (22) සවස සංවිධාන කර තිබිණි.

මේ විරෝධතාවට එක්වූ පිරිස් පවසා සිටියේ පුත්තලම පෞද්ගලික හිමිකරුවන්ට ලුණු නිෂ්පාදනයට ඉඩම් දෙන සමයේ සිට වසර 100කට අධික කාලයක් පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පිහිටි මේ ඉඩම් තීරුව ලුණු ගබඩා කිරීමට අනුමත කර කිසිදු සංවර්ධන වැඩ කටයුත්තකට නොදීමට කටයුතු කර තිබූ බවයි.

ඒ නිසාම මේ තීරුව පුත්තලම පෞද්ගලික ලුණු නිෂ්පාදකයන්ට දීමට මුල සිටම තීරණයක් තිබූ නමුත් මේ වන විට එය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අක්කර 10ක් දීමට ඉඩම් කොමසාරිස් ජනරාල් හරහා කටයුතු කරමින් ඇති බව මේ විරෝධතාවට එක්වූ පිරිස දැඩි ලෙස චෝදනා කරන්නට විය.

මේ විරෝධතාව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙමින් තිබියදී එම ස්ථානයට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහිම් මහතා විරෝධතාකරුවන්ගේ ගැටලුවට පිළිතුරු දීමට පොරොන්දු වී ඒ සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හමුවීමට පිරිසෙන් කිහිප දෙනකු සමඟ ගමන් කළේය.

දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එච්. එස්. හේරත් මහතා විසින් අලි සබ්රී මහතා ඇතුළු පිරිසට පවසා සිටියේ මේ සම්බන්ධව සොයා බලා නීත්‍යානුකූල පදනමින් ඒ සඳහා මැදිහත් වන බවත්, මෙය රජයට අයත් ඉඩමක් බැවින් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සහ ඉඩම් ඇමැතිවරයාගෙන් කරුණු සොයා බලා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත්ය.

කිසිම විටෙකින් මේ ඉඩම අපේ අයට නොදී පිටස්තර අයට දෙන්න කටයුතු කළොත් ඒ පිළිබඳව සොයා බලන බවත් මෙහිදී අලි සබ්‍රි රහීම් මහතා සඳහන් කළේය.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් එස්. පී. වීරසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ ඉඩම රජයට අයත් බිමක් බවත්, කිසිවකුටත් හිමිකාරිත්වයක් නොමැති බවත්ය.

 

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT