Home » වැල් පාලම සොලවන්නට එන මුසා බස්

වැල් පාලම සොලවන්නට එන මුසා බස්

by sachintha
April 23, 2024 1:00 am 0 comment

අරගල ක්‍රියාකාරීන්ගෙන් වැඩි දෙනෙක් මතේ හිසට ගසා පාරට බැස්ස අය බව රටේ වැඩි දෙනෙක් ඒ කාලේ තේරුම් ගත්තේ නැත. ඒ සඳහා වන හොඳම උදාහරණය පසුගිය දා අත්අඩංගුවට ගත් සංගීත ශිල්පියාය. මත්කරල් ලෝඩ් එකක් සමඟ අත්අඩංගුවට ගත් අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයා ‘බඩු ඕසෙට’ පාව්ච්චි කරන්නෙක් පමණක් නොවේ. වැලක රෙද්දක් තබාගන්න බැරි ගානට හෙරොයින් ව්‍යාප්ත වූ කාලයේ මෙන් මේ පුද්ගලයා අරගලයේ නාමයෙන් හොඳට වටේට කොල්ලය දී තිබේ. අරගල ක්‍රියාකාරිකයාගේ මඩපාත, පොල්හේන ගෙදර සර්ච් කළ පොලිසියට සෑහෙන පමණ දේවල් සොයා ගැනීමට හැකි විය. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ හා යාබද ඥාති නිවෙස ගිනි තබා විනාශ කර, දේපළ කොල්ලකෑ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස මේ තෙමේ කටයුතු කරන ලද බව පොලිසිය පළමුව අනාවරණය කර ගන්නේය.

අරගල ලීඩර්ගේ නිවෙස තුළ තිබී එම ඥාති නිවෙසින් කොල්ලකන ලද චෙක් පොත් තුනක්, බැංකු ගිණුම් පොත් හතරක් ද පොලිසිය සොයා ගත්තේය. අප වෙන අදහසක් සහිතව අරගලය දෙස බැලුව ද ඇත්ත අරගලය මේ ආකාරයට දැන් එළියට එමින් තිබේ. මතේ තද වී බඩු මදි වූ සෑහෙන පිරිසක්, මේ ආකාරයට අරගලය පැත්තට ආවේ ගියේය. එතැන රස සාගරයක් වූවේ එවන් පිරිසකටය. දමිතාගේ මාවත ඊට මඳක් වෙනස්ය. වැඩේ නැඟලා යන වෙලාව බලා, දැන් නාට්‍ය චිත්‍රපට ආදිය ද හිඟ බැවින් ඇය ද ගෝල්ෆේස් පැත්තට ගොස්, සිය රංගනය ආරම්භ කළාය. ලක් අම්මාගේ ගුණ ගායනයෙන් පටන් ගත්, අරගල ගැන්සියේ වීරවරිය ඉන් පස්සේ ලෝකය වටේ මිනිස්සු යවනවා කියා ගාණ කඩා ගෙන දැන් ඇතුළේය. මේ ජාතියේ උදාහරණ සෑහෙන ප්‍රමාණයක් එළියට නෑවිත් තවම ඇත්තේය.

අද පුණ්‍යවන්ත බක් පුන් පොහොය දිනය ය. මේ නියාවෙන් අප ක්‍රෝධ සිත් ඇතිව මේ වන් චරිත දිහා නොබලා, විමසිල්ල වැඩි කර එවන් චරිත තවමත් මේ රටේ ගිනි අවුළවමින් යන ආකාරය සඳහා පිළිතුරු දිය යුත්තේය.

ගැටුම සඳහා ඇති විසඳුම වෛරයට නොව සංසිඳවීම බව සුගත්හු අවධාරණයට ලක් කරන ලද්දේ, මේ බක් මාසයේදී, සිරිලකදීය. ලෝක නාථයෝ, චූලෝදර – මහෝදර නා රජ දෙපක්ෂය සමඟි කරනු වස්, සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය දේශනා කරමින්, ද්වේශයේ ඇති දෝෂයන් හා සමගියේ අනුසස් ද වදාරමින් පිරිසට අවවාද දුන්හ. අද එළඹ ඇත්තේ එවන් පොහෝ දිනක් හෙයින්, ද්වේශයෙන් මේ අරගල ප්‍රජාව දෙස නොබලා, ඔවුනගේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම වටිනේය.

තවමත් මේ ජාතියේ ඉතුරු බිතුරු ටිකක් දේශපාලනයේ ශේෂ ව ඇත්තේ බැවින් විමසිල්ල වැඩි කරමින් වැඩේ දෙස බලන ලෙස රටේ ජනී ජනයා වෙත සිහි කැඳවීමට, මේ තීරුව කැමැත්තේය.

අද ඇත්තේ අමුතු අරගලයකි. වැඩේ යන්නේ තනිකරම මුසාවෙන්ය. තෙවැනි වාරිකය සඳහා පුද්ගලික ණය හිමියන් සමඟ සිදුකරන ලද සාකච්ඡාව දැනට අප පාර්ශ්වය 50%ක් ජයගෙන අවසන්ය. ඊළග වාරිකය සඳහා තව 50%ක වැඩ කොටසක් අපට ඉතිරිව තිබේ. මේ පිළිබඳව ආණ්ඩුව ඇත්තම රටට කීවේය. මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සකච්ඡා අතිශය විනිවිදව ආණ්ඩුව සිදු කරන හෙයින් සඟවන වැඩේ නැත්තේය. ඒ වුණාට එක් පිරිසක් තවම ආර්ථිකය ගැන දොඩවන්නෙම මුසා බස්ය. මේ පිරිසට අවශ්‍යව ඇත්තේ යන්තම් ආර්ථිකය හිස ඔසවන කල්හි, ජනතා මනස වෙත ‘බංකොලොත්භාවයම’ පොම්ප කිරීමටය.

අය වැයෙන් අපේක්ෂිත ආදායම් නැත්තේ කියා එක් ගැන්සියක් පොළොවේ පස් කන්නේය. මේ ආකාරයේ සමීක්ෂණ සඳහා ඒ අය යොමුවන අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් වැදගත් කාරණයක් පසුගියදා අවධාරණය කළේය. ‘සමහර පසුබෑම’ සඳහා ලක්ව තිබියදීත්, පුද්ගලික ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව සාර්ථකව ක්‍රියාකරගෙන යන බව ඒ මහතාගේ අදහසය. ඒ තරම් දුරකට මේ රට පැමිණ ඇත. බංකොලොත් කළ සැණින් රටක් ගොඩනැඟීම කළ නොහැකිය. ගොඩනැඟීම යනු වැර වැයම් සහිත කටයුත්තකි. ඒ මාවත කැපකිරීම් රාශියක් කර මත තබාගෙන යා යුතු ගමනකි. මේ මහගිරිදඹේ, ආණ්ඩුව යන්නේ වැල් පාලමකය.

“මා භාර ගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩා ගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුල පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මා භාර ගත්තේ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැප වීම පුද්ගලයකු, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නො වෙයි; මුළු රටේ ම ජනතාව බේරා ගැනීම යි, මුළු රට ම බේරා ගැනීම යි, තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීම යි. ජීවිතය පරදුවට තබා මේ අභියෝගයට මා මූණ දෙනවා; ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගේ ම සහයෝගය මට දෙන්න. මා මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.” ජනාධිපතිවරයාගේ පොරොන්දුව එසේය.

ඒ පොරොන්දුව සඳහා යන අසීරු ගමනේදී යළි යළි මුසාවෙන් මත්වූ පිරිස් දමන රංගනයන් පිළිබඳව ඇස් හැර බලා සිටින ලෙස බක් පුන් සඳ මධ්‍යයේ මේ තීරුව මතක් කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT