Thursday, May 2, 2024
Home » දුනු හී අමෝරාගෙන මිහින්තලේ යමු

දුනු හී අමෝරාගෙන මිහින්තලේ යමු

by sachintha
April 19, 2024 1:00 am 0 comment

මිහින්තලා ගල දෙසින් දැන් පෙනෙන්නේ අමුතු අමුතු ‘විජ්ජුම්බරය’. සතර කෝරළේ භාෂාවෙන් විජ්ජුම්බර කියන්නේ විලාසිතාවටය. එහෙම බලන විට මිහින්තලේ පැත්තේ දැන් ඇතිව තිබෙන විලාසිතාව වනාහි විනාශය සඳහා වෙහෙස වීමය. මිහින්තලේ රක්ෂිතය ලෝක ඉතිහාසයේ නම ගිය ස්ථානයකි. දඩයමේ ගිය රජු දහමේ පිහිටියේ බැවින්, හේ දුනු හී තල පසෙක දා, සිය සිතේ එතෙක් තිබූ, මිත්‍යා දෘෂ්ටිය පළමුව දඩයම් කළේය. ඒ සැණින් සම්මා ලබ්ධිය ලැබ, සෑහෙන පමණ ‘කෙලෙස් මුවන්’ ඔහුගේ සිතෙන් පැන යන්නට ඇත.

එතැන් සිට මිහින්තලේ ලෝක ඉතිහාසයේ නම ලියැවෙන පළාතක් විය. ධර්ම ප්‍රබෝධය පමණක් නොව පරිසරය ද සුවපත් වන තීරණ ඒ මත්තේ ගනු ලැබීය. මිහින්තලේ රක්ෂිතයක් වන්නේ එදා ඇසුණු සදහම් පණිවිඩයේ වක්‍ර බලපෑමක් ලෙසය. වංශ කතාව ග්‍රෙගරි දින දසුනට ගළපා බලන විට මේ කතා කරනුයේ ක්‍රිස්තු පූර්ව 247 වර්ෂය ගැනය.

මහා සංඝයා උදෙසා, දේවානම්පියතිස්‌ස මහ රජතුමා මිහින්තලා භූමිය පූජා කිරීම මහා ආරාම පූජාවක් සේම එතෙක් ලෝකයේ නොතිබූ නව සංකල්ප පහළවීමක් ද විය. එම පූජා භූමියේ’ ‘සත්ත්ව දඩයම තහනම් විය. මෙය ඉතිහාසගත වන්නේ ලෝකයේ පළමු අභය භූමි වෙන් කිරීම ලෙසය.

මේ තීරුවේ අද මාතෘකාව සඳහා ප්‍රවිෂ්ටය සැකසෙන්නේ, මිහින්තලා රක්ෂිතය මුල් කර ගෙනය දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලය අවට ප්‍රදේශය ලොව පළමු අභය භූමිය ලෙස නම් කළ පසු, අනෙක් රජවරු ද එලෙසම පෙර රාජ ආඥාව පවත්වාගෙන ගියහ. මහා වංශය සඳහන් කරනුයේ, දොළොස්වන සියවසේ රජ කළ නිශ්ශංකමල්ල රජු අනුරාධපුර නගරයේ සිට යොදුන් 7කින් ආවරණය වන භූමි ප්‍රදේශයේ සතුන් මැරීම තහනම් කරමින් රාජාඥාවක් නිකුත් කළ බව ය.

1938 මැයි 27 වැනිදා සිට මිහින්තලේ අභය භූමිය, වනජීවී අභය භූමියක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් විය. ජෛව විවිධත්වයෙන් පිරුණු මේ ආගමික භූමි භාගය සඳහා පාරිසරික නෛතික රැකවල් ලැබෙනුයේ එම ගැසට් පත්‍රය මඟිනි. මේ තරම් ඉතිහාසගත මිහින්තලේ රක්ෂිතය සඳහා අන වින ඇති කරනුයේ එම ප්‍රදේශයේ මුදල් සහ දේශපාලන බලය සහිත අසමජ්ජාති පිරිස විසින්ය. සම ජාතියේ නොවන හෙවත් තමන්ගේ නොවන අර්ථය ඇති අසමජ්ජාති යන වචනයේ අර්ථය අනුව මේ පිරිස් අයත් වන්නේ නොමිනිස් කාණ්ඩය සඳහා ය.

හෙක්ටයාර් තුන්දහස ඉක්මවා තිබූ මිහින්තලා රක්ෂිතය මේ වන විට හෙක්ටයාර 1700 පමණ දක්වා අඩුවී ඇත්තේය. 2024 වර්ෂයේ ලෝක වනාන්තර දිනයේම, දොරමඩලාව රජ මහා විහාරයට ගමන් කරන මාර්ගයේ පිහිටි මිහින්තලේ රක්ෂිතයේ අක්කර දහයක් පමණ ප්‍රදේශයක, සියලුම ගස් කපා දමා, පළාතම ගිනි තබා විනාශ කර තිබුණි.

මේ ආකාරය සඳහා බාධා ඇති වන්නේ සුළු වශයෙනි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කිහිප දෙනෙක් හැරුණු කළ අන් සියල්ලෝම, ඔය ජාතියේ වැඩ කරන පිරිසගේ ගෝල බාලයෝ වී හිද, වැඩේට තල්ලු දෙන්නේය. ඊයේ දිනමිණ සිය ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කරන ලද්දේ, මිහින්තලේ රක්ෂිතයේ සිදු කෙරෙමින් පවතින මහා විනාශයක කතාවය.

මරදන්කුලම පැත්තේ ඇති, මිහින්තලේ රක්ෂිතයේ අක්කර 18ක් එළිපෙහෙළි කර ඉන් අක්කර හයක් ගිනි තබා විනාශ කර නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ දරන ‘ව්‍යාපාරිකයෙක්’ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා වන්නේය. මේ ජාතියේ ‘සත්තු’ වනය දුටු තැන එය තම වැයික්කිය බවට පත් කර ගැනීම සඳහා තැත් දරන්නෝය. වටේ පිටේ විනාශ කිරීම පළමු අදියරය. දෙවැන්න වනුයේ ඩෝසර් යොදා බිම සකස් කිරීමය. තෙවනුව, ගොඩනැඟිලි ඉදිවන්නේය. ඒවා සඳහා සැලසුම් අනුමැතිය පහසුය.

ගෙයක් සඳහා උඩ තට්ටුවක් ඉදිකර ගැනීමට යමෙක් නගර සභාවේ ගොඩනැඟිලි අනුමත කර ගැනීමේ අංශය සඳහා යනවා කියන්නේ, අවසානය තෙක් දහ පහළොස් ගමනක් ගෑටිය යුතු වැඩකි. මේ සත්තු ඒ වැඩ ටික නිවසේ සිටම ඉටු කර ගනිති. දිනමිණ ප්‍රමුඛ පුවතේ එන ඉඩම සඳහා සකස් කර ඇති බලපත්‍ර හතරම ව්‍යාජ බව අධිකරණය හමුවේ කරුණු වාර්තා වී තිබේ. වැඩේ පටන්ගත යුත්තේ එතැන් සිටය. එහෙම ව්‍යාජ බලපත්‍ර සාදා මේ මහා රක්ෂිතය වැනසීම සඳහා තැත් කරන සත්තු වහාම නීතියේ දැලට කොටු කර ගත යුත්තාහ.

මිහින්තලේ රක්ෂිත වනයේ අක්කර 18ක් නීති විරෝධීව එළිපෙහෙළි කර ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර අදාළ රක්ෂිත භූමිය නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ දරන ලද ‘සතා’ ව්‍යාපාරිකයෙක් බව අධිකරණයේදී කියැවී තිබුණි. දැන් වටේට සල්ලි වීසි කර වැඩේ ගොඩදා ගැනීම සඳහා ‘සතා’ වෙහෙසෙනවා ඇත.

හොර අත්සන් ගසා, ව්‍යාජ බලපත්‍ර සාදාගෙන මේ ආකාරයට රක්ෂිතය වනසන්නේ, ඒ සතාගේ තනි කැමැත්තට නොවේ. මේ වන් සත්තු පස්සේ, තවත් දැවැන්ත සත්තු ද සිටිති. මේ රක්ෂිත අභය භූමියක් ලෙස ලොව පළමුවෙන්ම ප්‍රකාශිත වැයික්කිය, මේ සත්තු සෙට් එකේ සෙල්ලම් පිටිය බවට පත් කර ගැනීමේ වෑයමට ඉඩ නොදෙන වනජීවී ඇතුළු සියලු නිලධාරීන් වෙත මේ තීරුවේ ගෞරවය හිමි වන්නේය. ඔය සත්තු උඩ විසි කරන ‘කොළ’ අල්ලන්නට ගියේ නම්, ඒ නිලධාරීහු ද සතාගේ පිටු පස්සේ යන්නාහ. එහෙම නොයන තරමේ කොන්දක් ඇති නිලධාරීහු මේ රටේ වන සම්පත සේම අපට සම්පතකි.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා නර්තනා අභිමානි සෙනවිරත්න මෙනෙවිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් ‘සතාට’ නඩු පවරන ලෙස අභීත තීන්දුවක් දී තිබේ. ඒ අනුව තව ටික දිනකින් ‘සතා’ නියත ලෙසම කූඩු වෙනවා ඇත.

මිහින්තලය යනු සිංහලයාට මිහිපිට ඇති විශිෂ්ටතම සම්පත් අතරින් එකකි. නොවළහා කියන්නේ නම් ‘එකෙක්’ එය ඇතුළේ සිට වනසන්නාහ. මේ ජාතියේ සත්තු එය එළියේ සිට වනසන්නාහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT